තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මාව විවේචනය කරන්න..හැබැයි පාරේ කෝලාහල කරන්න කාටවත් අයිතියක් නෑ"

    “මාව විවේචනය කරන්න..හැබැයි පාරේ කෝලාහල කරන්න කාටවත් අයිතියක් නෑ”

    තමා විවේචනය කිරීමට හෝ සාමකාමීව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඕනෑම පාර්ශ්වයකට අයිතියක් ඇති මූත් වීදිවල කෝළහල කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    තමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය සංකල්ප ඉදිරිපත් කිරීමෙන් සිදු වුයේ රට විනාශ වීම පමණක් බව ද කියා සිටියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සේනාධිනායක ලෙස, ඊයේ (01) පස්වරුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සෙසු නිලයන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    හරි දේ කිරීමට සියලු දෙනා ඉගෙන ගත යුතු අතර තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ රට වෙනුවෙන් හරි දේ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශක්තියක් ඇත්දැයි පරික්ෂා කිරීමට බව ද පැවසීය.

    එය උදාහරණයක් කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් ගමනක් ගියහොත් වසර 25 කට පෙර රට තුළ දැවැන්ත සංවර්ධනයක් උදාකර හැකි බව ද කියා සිටියේය.

    ත්‍රස්තවාදී යුද්ධය ජය ගත්තා සේම ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය ජයගෙන ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

    ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වය නිරන්තරයෙන්ම අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පසුගිය වසරේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ක්‍රියා කළ ආකාරය ඇගයීමට ලක් කළේය.

    ඔවුන් එලෙස තම වගකීම ඉටු නොකළානම් මේ වන විට ශ්‍රී ලංකාව අරාජික රාජ්‍යක් වීමට ඉඩ තිබූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

    ලෝක බලවතුන් අතර මේ වන විට පවතින තරගය ඉන්දියන් සාගරයට දැඩිව බලපාන බවත් ඉන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    අතීතයේ පැවති යුධමය තත්ත්වයන් මෙන් නොව අනාගතයේ දී ඇතිවිය හැකි යුදමය තත්ත්වයන් තාක්ෂණය සහ දැනුම කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය විය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අභියෝග ජය ගැනීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නවීන තාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවත්, අපගේ ආරක්ෂක හමුදාවන් ශක්තිමත් කරමින් Defense 2030 වැඩසටහන ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

    මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත්, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිය, සාමය සහ අධිකරණ අමාත්‍යවරයාට තමා උපදෙස් ලබාදී ඇති බවත් පැවසීය. එමෙන්ම මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img