fbpx
තවත්
    මුල් පිටුවspecialඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයක් දෙන එක වැරදි ඇයි?

    ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයක් දෙන එක වැරදි ඇයි?

    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලැබිලලු. මෙහෙම හැම තැනම විශ්වවිද්‍යාලයි, වෛද්‍ය පීඨයි දාන එක හොඳ වැඩක් නෙවෙයි.

    ලංකාවේ නාගරික තීරුවලින් එලියේ තියෙන ප්‍රදේශවලට විශ්වවිද්‍යාලයක් හෝ වෛද්‍ය විද්‍යාලයක් දරාගන්න තරම් හැකියාවක් නෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි හොඳ ගුරුවරු ඒ ප්‍රදේශවලට නොයාම. තමන්ගේ දරුවන්ට හොඳ පාසල්, මධ්‍යම පාන්තික ජීවිතයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන වෙනත් නාගරික පහසුකම් වගේ දේවල් ගොඩාක් අඩු හින්ද ඒ පැතිවලට යන්න, වෙනත් විකල්ප අවස්ථාවක් නැති ම කෙනෙක් හෝ ඇත්තටම උණක් තියෙන කෙනෙක් මිසක් කැමති වෙන්නේ නෑ. ඒ නිසා මට හිතෙන විදියට මාතර සිට හලාවත දක්වා මුහුදු තීරයත්, කොළඹ සිට මහනුවර දක්වා තීරුවත්, ඊට අමතරව කුරුණෑගල සහ යාපනයත් හැරුණු විට අනිත් ප්‍රදේශවල විශ්වවිද්‍යාල දාන්න තරම් පහසුකම් හා පසුබිමක් නෑ. රත්නපුරය වුණත් අතරමැද තත්ත්වයක තියෙන්නෙ.

    මේ ප්‍රදේශවලින් පිටත විශ්වවිද්‍යාල දාල තියෙන්නෙ බොහෝ විට පැරණි ගම් උදාවල්වල ගොඩනැගිලි මොනවා හරි දේකට පාවිච්චි කිරීමේ අරමුණෙන් සහ එක්කෝ විවිධ මැති ඇමතිවරුන් හෝ නිලධාරීන් තමන්ගේ උපන් ගම් ප්‍රදේශවලට කැපිලා පෙනෙන හෝ මතක හිටින තෑග්ගක් දීමේ හෝ සේවාවක් කිරීමේ අරමුණින්. ඒ මිස මේවා මේ ප්‍රදේශවලට විශ්වවිද්‍යාල හෝ වෛද්‍ය විද්‍යාල සඳහා අවශ්‍ය අනෙකුත් සාධක තියෙනවද කියන එක පිළිබඳව විධිමත් ශක්‍යතා අධ්‍යයන කරලා ගන්න විධිමත් තීරණ නෙවෙයි.
    රජරට වෛද්‍ය පීඨය පටන් ගත්තෙත් ගමට සේවය කිරීමේ අරමුණින් තමයි.

    කුරුණෑගල පිහිටුවන්න ඕනෑ වෛද්‍ය පීඨය කුලියාපිටියට ගියෙත් දේශපාලන බලපෑමකින්. රජිත් කීර්ති තෙන්නකෝන් කියන විදියට වැලිමඩ උපන් මහාචාර්යවරයකුට තමන්ගේ ගමට වෛද්‍ය පීඨයක් දෙන්න ඕනෙ වෙලා. ඉතින් පටන් ගත්තු දවසේ ඉඳන් මේවට අවශ්‍ය මහාචාර්යවරු හොයාගන්න බැරිව ලොකු ප්‍රශ්න ඇති වෙනවා.

    වැදගත්ම දේ තමයි තමන්ගේ ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් හෝ වෛද්‍ය පීඨයක් පිහිටෙව්වා කියලා මේ අය හිතන තරම් තමන්ගේ ගමට සේවයක් සැලසෙන්නේ නෑ. ඒ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් බඳවා ගන්නේ දිස්ත්‍රික් හෝ කුසලතා පදනම මත මිසක් ගමේ කමට නෙවෙයි. මේ වෙලාවේ මට මතක් වෙනවා මුස්ලිම් දේශපාලන නායකයන් තමන්ගේ ජාතියට සහ ප්‍රදේශයට විශ්වවිද්‍යාලයක් ලබා ගැනීමේ අරමුණින් පිහිටුවපු අග්නිදිග විශ්වවිද්‍යාලයට වෙච්ච දේ. ඒකෙ ගෘහ නිර්මාණය ඇතුළුව ඔක්කොම දේවල් කළේ මුස්ලිම් හා අරාබි විදියට. නමුත් ලංකාවේ විශ්ව විශ්වවිද්‍යාලයට ප්‍රවේශය දෙන ක්‍රමය අනුව ඒ “මුස්ලිම්” විශ්වවිද්‍යාලයට වුණත් යන ශිෂ්‍යයන්ගෙන් සීයට 70% කට වඩා සිංහල ළමයි සහ තව 15% දෙමළ ළමයි වෙන එක නවත්වන්න අමාරුයි. මේක මුස්ලිම් නායකයන්ට තේරුනේ පහුවෙලා.

    ඔය ඊට පස්සෙ කාලෙක ගොඩක් මත භේදයට හේතු වුන මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය දාන්න හැදුවේ ඊට පස්සේ ඒකට උත්තරයක් විදියටයි. කොහොම වුණත් ඒ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සමහර පීඨවලට ගුරුවරු සොයා ගැනීම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නාගරික ප්‍රදේශවල ඉන්න සුදුසුකම් තියන ගුරුවරු ඒ තරම් ඈත පැතිවලට යන්න කැමති නැහැ.

    වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් තවත් කාරණයක් කියන්න ඕනෙ. පොඩ්ඩක් හොයල බලන්න පහුගිය අවුරුදු දහය ඇතුළත ලංකාවේ අලුතෙන් වෛද්‍යපීඨ කීයක් නම් පටන් ගත්ත ද කියලා. මේ විදියට එකපාරටම වෛද්‍ය පීඨ ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි කරත්දි ඒවල ගුණාත්මකභාවය රැක ගන්න පුළුවන්ද කියන එකම මට නම් ප්‍රශ්නයක්. අනිත් එක සහමුලින්ම අලුතෙන් මේ විදියට වෛද්‍ය පීඨ දානවට වඩා, දැනට තියෙන වෛද්‍ය පීඨවල අභ්‍යන්තර ඉඩ ප්‍රමාණය පුළුල් කිරීමේ වැඩසටහනක් ගෙනාවොත් මීට වඩා අඩු පිරිවැයකින් අවශ්‍ය වෛද්‍යවරු සංඛ්‍යාව බිහිකර ගන්න පුළුවන්.

    ඉතින් මේ විදියට බලද්දි ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයක් දාපු එක ගැන සතුටු වෙන්න නෙවෙයි කණගාටුවෙන්නයි තියෙන්නෙ. නමුත් ලංකාවෙ තියන මානසිකත්වයට අනුව බදුල්ල මොනරාගල අයට එයාලට වෛද්‍ය පීඨයක් ලැබීම කියන එක ලොකු සතුටක්. ඔය විදිහටම මුලතිව්වලට වෛද්‍ය පීඨයක් දැම්මොත් මුලතිව් වැසියන්ටත් සතුටු හිතෙයි. නමුත් ඉතින් ගමේකමට ඇතිවෙන සතුටට වඩා රට පැත්තෙන් නේද මේවා ගැන හිතන්න ඕනේ.

    අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.