ගුවන්තොටුපොල පොලීස් අත්අඩංගුටවෙන් පළාගිය බූරු මූණා නැමැති පාතාලයේ අභිරහස් වෙඩික්කරුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි යුවල නුවරඑළියේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (05) සමත් විය.
මෙම යුවල පසුගිය දිනවල තැන තැන සැගවෙමින් සිට නුවරඑළියට ගොස් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීරෝද රථයක නැගී ගමන් කරමින් සිටියදීය.
බූරු මූණාට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් පවා සකස්කරගැනීමට උදව්දී ඇත්තේ මෙම යුවල අතර සිටින සැමියා බවත් ඔහු නාවික හමුදාවේ මේ වන විට සක්‍රීය සේවයේ නිරතව සිටින අයෙක් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. බූරු මූණා සමඟ ඔහු එකට නාවික හමුදාවේ සිට ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
බූරු මූණා ගුවන්තොටු පොල පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව පළායාමත් සමඟ මෙම යුවල ඔවුන් පදිංචි නිවසින් පළාගොස් තැන තැන සැඟව සිට ඇත්තේ දරු දෙදෙනා ද සමගිනි. මෙම යුවල දරුවන් සමඟ තැන තැන ගමන්කරමින් සිටි ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීමකර තිබුණි.