fbpx
තවත්
    මුල් පිටුවspecialවිද්‍යාඥයිනුත් පුදුම කරවූ 'චර්නොබිල් බල්ලන්' මිනිස් අනාගතය වෙනස් කරයිද?

    විද්‍යාඥයිනුත් පුදුම කරවූ ‘චර්නොබිල් බල්ලන්’ මිනිස් අනාගතය වෙනස් කරයිද?

    ලෝකයේ දරුණුතම න්‍යෂ්ටික අනතුර වූ චර්නොබිල් න්‍යෂ්ටික බලගාරය අවට අධික විකිරණශීලී පරිසරයේ ජීවත්වන සුනඛයින් පිරිසක් විද්‍යාඥයින් විමතියට පත් කිරීමට සමත්ව තිබේ.

    පසුගිය වසර 35 ක කාලය තුලදී මෙම සුනඛයින්ගේ පරම්පරා කීපයක් ජීවත්ව ඇති අතර ඔවුන් අධික විකිරණ සහ දැඩි අනතුරුදායක පරිසරයක ආහාර සොයාමින් සමාන්‍ය පරිදි ජීවත්වීම විද්‍යාඥයින්ගේ කුතුහලය ඇවිස්සීමට සමත්ව ඇති බවටද වාර්තා වේ.

    ඒ අනුව විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ මෙම සුනඛයන් අධ්‍යයනය කිරීමෙන් මිනිසුන්ට දරුණුතම, වඩාත්ම අහිතකර පරිසරයක ජීවත් වන ආකාරය පිළිබඳ නව උපක්‍රම ද සොයා බැලීමට හැකියාව පවතිනවා ද යන්න සොයා බැලීමටයි.

    මෙහිදී විද්‍යාඥයින් විසින් ජාන පරීක්ෂාවක් මගින් අධ්‍යනය කිරීමට පලාපොරොත්තු වන කාරණා සම්බන්ධයෙන් ඊයේ (03) Science Advances විද්‍යා ජර්නලයේ සවිස්තරාත්මක ලිපියක් පළකිර තිබිණි.

    එහිදී මිනිසුන්ට ඇතුලු වීමට නුසුදුසු කළාපයක් ලෙස නම් කර ඇති ප්‍රදේශයක නිදහසේ සැරිසරන සුනඛයන් 302 කෙරෙහි අවධානය යොමුකරමින් කළ පරීක්ෂණවලදී අදාල සුනඛයින් අනෙකුත් සුනඛයින්ගෙන් ජානමය වශයෙන් යම් ආකාරයකින් වෙනස් විය හැකි බවට හඳුනාගෙන තිබේ.

    මෙම සුනඛයින් විකිරණවලට නිරාවරණය වී ඇති ආකාරයක් එමගින් ඔවුන්ගේ ජානවලට ඇතිව තිබෙන බලපෑම්ද හඳුනා ගැනීමටද විද්‍යඥයින් අපෙක්ෂා කරයි.

    “අපට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබෙනවා. එහිදී ඉතා තීරණාත්මක ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම සඳහා අඩිතාලමක් දැමීමට මෙමගින් හැකියාව ලැබෙනවා. මෙවැනි අහිතකර පරිසරයක පරම්පරා 15ක් සුනඛයින් ජීවත් වන්නේ කෙසේද යන්න සොයා ගැනීම අපි ඉතාම වැදගත් වෙනවා” යනුවෙන් අදාල අධ්‍යනය සම්බන්ධ වන ජාන විද්‍යාඥ ඉලේන් ඔස්ට්‍රාන්ඩර් මාධ්‍ය පැවසුවාය.

    මේ අතර දකුණු කැරොලිනා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්වයෙකු වන සහ ඉකුත්දා පළ කළ ලිපියේ සම කතුවරයෙකු වන ටිම් මූසෝ පැවසුවේ, සමස්තයක් ලෙස ක්ෂීරපායීන් කෙරෙහි විකිණ බලපාන ආකාරය සුනඛයන් ඔස්සේ අධ්‍යනය කිරීමට හැකියාව ලැබෙන බවයි.

    එමෙන්ම පර්යේෂකයින් පවසන්නේ මෙම සුනඛයන් න්‍යෂ්ටික අනතුර වන විට එහි සිටි නිවැසියන් විසින් ඇති කළ සුරතල් සතුන්ගෙන් පැවත එන්නන් බවයි. න්‍යෂ්ටික අනතුර වූ අවස්ථාවේදී එම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව තමන් ඇති දැඩි කළ සුරතල් සතුන් අත්හැර දමා ගොස් තිබිණි.

    මාහාචාර්ය මූසෝ 90 දශකය අග භාගයේ සිට චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පැවති කලාපයේ සිය පර්යේෂණ පවත්වා ඇති අතර 2017 දී පමණ සුනඛයන්ගෙන් රුධිරය එකතු කිරීමට ආරම්භ කර තිබේ. මෙහිදී ඇතැම් සුනඛයන් බලාගාරය ආසන්නයේම ජීවත්වන බවටද හඳුනාගෙන ඇත.

    වැඩිදුරටත් කළ පරීක්ෂණ වලදී අනාවරණය වූයේ මෙම සුනඛයින් විවිධ මට්ටම් වලින් විකිරණ වලට නිරාවරණය වූවන් බවයි. ඒ අනුව එකිනෙකට වෙනස් වූ සුනඛයින් රැසක් එම ප්‍රදේශයේදී නිරීක්ෂණය කර ගැනීමට හැකියාව උදාවී තිබිණි.

    “‍මේ සුනඛයින් අපට විශාල වැදගත්. ඇත්තටම ඔවුන් සොයා ගැනීම විශාල සන්දිස්ථානයක් ,” යනුවෙන් ඔස්ට්‍රාන්ඩර් පැවසීය. “ඒ වගේම පුදුමයට කරුණක් නම් අපට මේවන විට සුනඛ පවුල් පවා හඳුනා ගත හැකි වීමයි. මේවන විට පවුල් 15 පමණ අපි හඳුනාගෙන තිබෙනවා” ලෙසද ඇය සඳහන් කළාය.

    ඇය පෙන්වා දෙන ආකාරයට මේවන විට පර්යේෂකයින් හට අදාල සුනඛයින්ගේ ඩී.එන්.ඒ වල සිදුව ඇති වෙනස්කම් සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් කිරීමට හැකියාව නිර්මාණය වී තිබේ.

    “අපට ඩී.එන්.ඒ සංසන්දනය කළ හැකි අතර අපිට එහිදී මේ ඩී.එන්. ඒ. සාමන්‍ය සුනඛයින්ගෙන් වෙනස් වන්නේ කෙසේද, කුමක්ද වෙනස් වී ඇතේ, විකෘති වූ දේ සහ පරිණාමය වී ඇති දේ හඳුනා ගැනීමට හැකියාව ලැබෙයි.” යනුවෙන් ඔස්ට්‍රාන්ඩර් පැවසුවාය.

    විද්‍යාඥයන් පැවසුවේ, දැඩි පාරිසරික හානියක් යටතේ ලෝකයේ විවිධ ප්‍රදේශවල සතුන්ට සහ මිනිසුන්ට වර්ථමානයේ සහ අනාගතයේ ජීවත් විය හැකි ආකාරය සහ අභ්‍යවකාශයේ ඉහළ විකිරණශීලී පරිසරයක ජීවත් විය හැකි ආකාරය පිළිබඳවද අවබෝධයක් ලබා දීමට මෙම සුනඛයින් වැදගත් වනු ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.