fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන්තොටේදී ඇල්ලූ බූරු මූණාව පොලීසියෙන් පැන්නීමට ආ භික්ෂූන් දෙනම කොටුවෙති

    ගුවන්තොටේදී ඇල්ලූ බූරු මූණාව පොලීසියෙන් පැන්නීමට ආ භික්ෂූන් දෙනම කොටුවෙති

    පාතාලයේ අභිරහස් වෙඩික්කරුවෙක් වූ රවිදු සංඛ ද සිල්වා නොහොත් බූරු මූනා නැමැති අපරාධකරු ඩුබායි බලා පළායාමට ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් අල්ලා කටුනායක ගුවන්තොටුපොල පොලීසියට භාරදීමෙන් පසු ඔහුට පළායාමට පහසුකම් සැපයීම වෙනුවෙන් පොලීසියට මහා රෑ පැමිණි බව කියන භික්ෂූන් දෙනමක් ඇතුළු තිදෙනෙක් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    හෙට්ටිපොල රිට්ටාදෙනිය ශ්‍රී ජය ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පොත්තේවෙල ඉන්ද්‍රසාර (38) , දිවුල්වැවේ දීපානන්ද (41) යන භික්ෂූන් දෙනම සහ මෙම විහාරාධිපතිහිමියන්ට අයත්බව කියන මෝටර් රථයේ රියදුරුබව කියන දිලාන් පැතුම් ප්‍රසාද් (27) යන තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 24 වෙනිදා අත්අඩංගුවටගත් මෙම පාතාල අපරාධකරු කටුනායක පොලිස් භාරයේ රදවාගෙන සිටියදී රාත්‍රී 9.30ට පමණ මෙම භික්ෂූන් දෙපල වයස අවුරුදු 11ක සාමනේර හිමිනමක්ද සමඟ පොලිස් ස්ථානයට පැමිණ ඇත. පසුව මේ අය පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ සුහහද කථාබහක නිරතවීමෙන් අනතුරුව පිටව ගොස් ඇත්තේ පාතාල අපරාධකරුට කෑම පාර්සලයක් සමඟ පණිවුඩ කිහිපයක්ද තබාය. ඒ යන විට මෙම අපරාධකරු ගුවන්තොටුපොලට රැගෙන ආ ගමන් මලු දෙකක්ද රැගෙන ගොස් ඇත. එම ගමන් මලු දෙක විහාරස්ථානයේ තිබී සොයාගෙන ඇත.

    විහාරාධිපති භික්ෂූන් වහන්සේ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් වහන්සේගේ හිතවතෙක් මෙන්ම පිරිවෙනේ අකුරුකල මිතුරෙක්ද වන ඩුබායි හී සිටින ලලිත් කන්නන්ගර නැමැති අය දුරකතන ඇමතුමක් දෙමින් තමන්ගේ කොල්ලෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින බැවින් ඒ ගැන සොයා බැලීමක් කරන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව ගුවන් තොටුපොල පොලීසියට පැමිණ යම් සොයා බැලීමක්කර ගිය බවය.

    ලලිත් නැමැත්තා මත්කුඩු ජාවාරමේ නිරතව සිටින ප්‍රබල පාතාල අපරාධකරුවෙක් බව පොලීසිය කියයි. හංවැල්ලේ මුස්ලිම් හෝටලයේ හිමිකරුට පසුගිය දෙසැම්බර් 18 වෙනිදා වෙඩි තබා ඝාතනය කරවා තිබුණේ ඔහුය. ඩුබායි පනින්න යන විට අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොල පොලීසියේ රදවා සිටියේ එම ඝාතනයේ වෙඩික්කරුවය.

    පොලීස් සිරමැදිරියේ රදවා නොසිටි මෙම අපරාධකරු සමඟ පොලීසියේ සැරයන්වරයෙක් දුම්වැටි පවා පානයකරමින් සිට ඇති බවත් 26 වෙනිදා අලුයම ඔහු පොලිස් ස්ථානය අසලට පැමිණි මෝටර් රථයක නැගී පළාගොස් ඇති බවත් පොලීසිය කියයි.
    මෙම පාතාලයේ වෙඩික්කරු පළායන්නේ භික්ෂූන් එහි පැමිණ තොරතුරු ලලිත්ට ලබාදීමෙන් අනතුරුව සහ ලලිත්ගෙන් මෙම සැකකරුට ලද තොරතුරුවලින් පසුව බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.