තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"විදුලි බිල වැඩිකිරීමට එරෙහි වූ එක්කෙනෙක් නිසා IMF සහය ගැනීම සති 6කින්...

    “විදුලි බිල වැඩිකිරීමට එරෙහි වූ එක්කෙනෙක් නිසා IMF සහය ගැනීම සති 6කින් ප්‍රමාද වුණා”

    විදුලි බිල වැඩිකිරීමට එක් පුද්ගලයකුගේ විරෝධයක් නිසා සති 6කින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහය ලබාගැනීම ප්‍රමාද වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ණය සහය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කරුණු 15ක් සම්පූර්ණ කිරීමට රජයට ලබාදුන් බවත් අනෙක් සියල්ල සපුරා අවසාන වශයෙන් තිබූ කොන්දේසිය වූ විදුලි බිල වැඩකිරීමට තිබූ බව ජනාධිපතිවරයා කීය.

    එහෙත් ඊට විරෝධය දැක්වීමට එක් අයෙක් කටයුතු කිරීමෙන් මෙම ක්‍රියාවලිය ප්‍රමාද වූ නමුත් පසුව විදුලි බිල වැඩිකොට අදාළ කරුණු 15 සම්පූර්ණ කළ බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ඔහු අවධාරණය කළේ IMF ණය නොලැබුණහොත් පැය 12ක පමණ විදුලි කප්පාදුවක් සමඟ ජීවත් වීමට සිදුවන බවයි.

    ආර්ථිකය ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමට සූදානම් බව ජනපති මහනුවරදී කියයි.

    රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවත්, වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා පසුගිය මාස කිහිපය තුළ පැවති ආර්ථික දුෂ්කරතාවන් තරමක් අඩු වී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීමට සූදානම් බව ද පැවසීය .

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් සමග ඊයේ (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි.

    තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ මෙම අභියෝග පිළිබඳ නොදැන නොවන අතර කුමන බාධක හමුවේ වුවද රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ නවතා නොදමන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    “රටේ ආර්ථිකය ටිකෙන් ටික පෙර තිබූ තත්ත්වයට වඩා හොඳ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. නමුත් අපට තවත් ප්‍රශ්න තිබෙනවා.

    අද උද්ධමනය ඉහළ මට්ටමක තිබෙනවා. පොලී අනුපාතය ඉතා වැඩියි. ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාව අසීරුතාවට මුහුණ දී සිටින බව අපි දන්නවා. ඒ වගේම නීතීඥවරුන්ටත් ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. රටේ මූලික ගැටලු රැසකට අප මේ වන විට විසඳුම් ලබාදී තිබෙන බව කිව යුතුයි. ඒ වගේම තවත් ගැටලු ගණනාවක් අප ඉදිරියේ තිබෙනවා..

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ 2019 දි පැවති ආකාරයට අපේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් විය යුතුයි කියලයි. මේ වන විට එය 09% දක්වා පහළ ගොස් තිබෙනවා. ඔවුන් විමසා සිටින්නේ ඔබ ඔබේ ජනතාවට බදු සහන දෙනවා නම් අපි කොහොමද අපේ ජනතාවගෙන් වැඩියෙන් බදු අය ‍කර ගෙන ඔබට සහනයක් දෙන්නේ කියලා.

    ඒ නිසා අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ අයටත් අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න, යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීමට අපි සූදානම්. එම යෝජනාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙනවා ද කියා බලන්න පුළුවන්.

    ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළේ පසුගිය අගෝස්තු මාසයේ දී. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී මාණ්ඩලික ගිවිසුමට එකඟ වීමට හැකි වුණා. ඔවුන් අපට ක්‍රියාත්මක කිරීමට කරුණු පහළොවක් ලබා දුන්නා. එය දෙසැම්බර් 31 වැනිදාට පෙර ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කාලය ලබා දුන්නා. නමුත් එදිනට එය සිදු කරගන්න අපට නොහැකි වුණා. ඉන්පසුව ජනවාරි 31 වැනිදා දක්වා කල් ලබා ගැනීමට අප කටයුතු කළා. එම අවස්ථාවේදීත් අපට එම කරුණු 15 ඉටු කරගන්න නොහැකි වුණා . අවසන් වශයෙන් පෙබරවාරි 15 වනදා දක්වා කල් ලබා ගැනීම සිදු කළා. පෙබරවාරි පහළොස් වෙනිදා සවස 06:00 වන විට අපි කරුණු සියල්ල සම්පූර්ණ කර වොෂින්ටන් නුවරට යොමු කලා.

    මෙම කරුණු පහළොවෙන් එක් කරුණක් පමණයි ප්‍රමාද වෙමින් තිබුණේ. ඒ විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කිරීම සම්බන්ධ කරුණයි. විදුලි බල මණ්ඩලයට වසරකට රුපියල් බිලියන 230ක් අලාභයක් සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ ලබාගන්නා රාජ්‍ය බදු වලින් ආයතන නඩත්තු කරන්න යන්න එපා කියලා.

    එහෙම වුනොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය ලැබෙන්නේ නෑ කියලා දන්වා තිබුණා. නමුත් මේ රටේ එක් පුද්ගලයෙක් විදුලි ගාස්තුව වැඩි කිරීමට ගත් තීරණයට විරුද්ධව කටයුතු කළා. ඒ නිසා සති හයක් ජාත්‍යන්තර අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වුණා. නැත්නම් ජනවාරි මාසය අවසන් වන විට අපට මෙය අවසන් කළ හැකිව තිබුණා. මේ වනවිට අපට ලබා දුන් කරුණු 15 ම ඉටුකර අවසන්. දැන් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවස්ථාවයි.

    අපට ණය ලබා දී තිබෙන පැරිස් සමාජය ඉන්දියාව සහ චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණ තිබෙනවා. පැරිස් සමාජය ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබා දෙන ක්‍රමවේදයක් තිබෙනවා. ඉන්දියාවට තවත් ක්‍රමවේදයක් තිබෙනවා. චීනය තවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. පැරිස් සමාජයේ රටවල් ඔවුන්ගේ ක්‍රමවේදයට අමතරව ඉන්දියාවේ ක්‍රමවේදයත් පිළිගෙන තිබෙනවා. නමුත් චීනයේ ක්‍රමවේදය ගැන තවම එකඟත්වයක් නෑ.

    මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් යෝජනා කළේ සියලුදෙනා එක් වේදිකාවකට පැමිණ සාකච්ඡා කරන්න කියලා. නමුත් චීනය ලෝක බලවතෙක් නිසා ඔවුන්ගේ ක්‍රමවේදය ඊට වෙනස්. එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී ජී- 20 රටවල්වල මුදල් ඇමතිවරු සාකච්ඡාවක් පවත්වනවා. ආර්ථිකය කඩා වැටුණු රටවල් වල ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද යන්න සම්බන්ධවයි එහිදි සොයා බැලීමට නියමිතයි. එතනදි චීන මුදල් ඇමතිවරයා සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ස්ථාවරය අනුව අප ක්‍රියාත්මක කිරීමට විකල්ප දෙක තුනක් තිබෙනවා.

    අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර නොලැබුනොත් ඉදිරියට ඉන්ධන නැතුව, පැය 12ක පමණ විදුලි කප්පාදුවක් සමඟ ජීවත්වීමට සිදු වෙනවා. යල කන්නයට පොහොර ටික ලැබෙන්නෙත් නැහැ. මේ තත්ත්වය යටතේ ජනතාවට ඉතා අසීරුතාවකට මුහුණ දෙන්න වෙනවා.
    රටේ මූලික ප්‍රශ්නය ආර්ථික ගැටලුවයි. එය ඉලක්ක කර ගෙන තමයි අපි කටයුතු කළ යුත‍්තේ. එසේ නොමැතිව මේ ප්‍රශ්නය සැඟවිය නොහැකියි.

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණය ආණ්ඩු මාරු කරන එකක් නොවෙයි. පළාත් පාලන ඡන්දය තිබෙන දිනය සම්බන්ධයෙන් උසාවිය තීන්දුවක් ලබාදේවි. නමුත් රටේ ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුලු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී විසඳ ගත හැකි දෙයක් නෙවෙයි. ආර්ථිකය පවත්වා ගෙන යාමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එම නිසා පාර්ලිමේන්තුවේ 225 එක තැනකට පැමිණ වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කළ යුතුයි.
    අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණ, සමගි බලවේගය ,ඉරාන්, හර්ශ ගෙ යෝජනා වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සඳහා සහයෝගය ලබා දෙන්නත් පුළුවන්. සමහර දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ. ඔවුන් මේ සම්බන්ධයෙන් ජනතාවට බොරු කියලා දේශපාලන සෙල්ලමක් කරනවා . අපට අනාගතය සම්බන්ධව සෙල්ලම් කරන්න බැහැ. රටේ තරුණ තරුණියන්ගෙ අනාගතයට අපි වගකිව යුතුයි. ඒ නිසා ආර්ථිකය ගොඩනැගීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා. ඕනෑම අයකුට විකල්ප යෝජනා තිබෙනවා නම් මම කැමතියි වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන්න අවස්ථා ලබා දෙන්න.” යැයි ද ජනාධිපතිවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img