fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුබසාධක ප්‍රතිලාභ ගනිද්දී හැඳුනුම්පත අනිවාර්ය කෙරේ

    සුබසාධක ප්‍රතිලාභ ගනිද්දී හැඳුනුම්පත අනිවාර්ය කෙරේ

    සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කළයුතු බවටද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබේ.

    තාක්ෂණය මෙතරම් දියුණු මට්ටමක ඇති පසුබිමක ජාතික හැදුනුම්පතක් සෑම පුරවැසියෙකුටම ලබාදීමට හැකියාවක් නොමැති බව පිළිගත හැකි කරුණක් නොවන බව ද වංචනික ක්‍රියාවන් නැවැතීමට එය වැදගත් තීරණයක් වනු ඇති බවද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

    සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනා ගනිමින් ලේඛනයක් සකස් කිරීම සදහා දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

    මෙලෙස සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිද බවකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බව එහිදී අවධාරණය කර ඇත.

    ඒ සඳහා වගකීම පැවරෙන්නේ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට ය.

    ඒ අනුව එම දත්ත රැස් කිරීමේ කටයුතුවලට අවශ්‍ය විධිවිධාන සඳහා මෙම ගැසට් පත්‍රයේ නියෝග පළකොට තිබිණි.

    ඒ අනුව මෙහිදී අදහස් දැක්වූ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න මහතා පවසා සිටියේ ලියාපදිංචි අයදුම්කරුවන්ගේ නිවෙස් වෙත ගොස් පනතේ විධිවිධාන අනුව අයදුම්කරුවන් විසින් කරනු ලබන ප්‍රකාශයට අදාළ දත්ත සහ තොරතුරු ලබා ගැනීමේදී පනතේ 21 සහ 22 වගන්ති අනුව සිය රැකියා අහිමිවීමට පවා ඉඩ ඇති බැවින් එකී වගන්ති සංශෝධනය කරන තුරු මෙම ක්‍රියාවලියට අදාළ සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වන බව සමෘද්ධි, ග්‍රාමනිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති දන්වා ඇති බවයි.

    මෙම 21 සහ 22 වගන්තිය මගින් සාවද්‍ය දත්ත ඇතුළත් කරන නිලධාරීන්ද දඩුවමකට යටත්වන බැවින් මෙසේ එම වගන්ති සංශෝධනය වනතුරු මෙම දත්ත එකතු කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.

    රජයේ සුබ සාධක ලැබීම් සඳහා සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් / පවුල් හඳුනා ගැනීම සදහා මූලික අයදුම්පත් භාර ගැනීම පසුගියදා අවසන් වී තිබිණි.

    එසේම සුබසාධක ප්‍රතිලාභ ඉල්ලුම් කර ඇති අයදුම් කරුවන්ගේ නිවෙස් වෙත ගොස් ද්වීතීයික තොරතුරු එක්රැස් කිරීම සදහා ජංගම යෙදවුම් මෘදුකාංගයක්ද හඳුන්වා දුන් බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

    මනා විනිවිදබවකින් යුතුව මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු සිදු කිරීම සඳහා නිවැරදි දත්ත සහිත ලේඛනයක් සකස් කිරීම අත්‍යවශ්‍ය ය.

    මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම පමාවීමටත් මෙම ලේඛනය සකස් කිරීම පමාවීම හේතුවිය හැකි බැවින්ද දූෂණය හා වංචාවෙන් තොර සංස්කෘතියක් ඇති කිරීම සදහා ද කඩිනමින් මෙම ගැටලුව විසදා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කරන ලදී.

    ඒ අනුව මෙම ගැසට් පත්‍රය සදහා අනුමතිය ලබා දුන් කාරක සභාව මුදල් අමාත්‍යාංශ ඉහළ නිලධාරීන්ට සහ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ මේ සම්බන්ධව කඩිනමින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණෙන ලෙසයි.

    එසේම විකල්ප ක්‍රියාමාර්ගයක් හෝ අනුගමනය කරමින් මෙම දත්ත රැස්කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අදාළ තීරණ ගන්නා ලෙස ද කාරක සභාව මෙහිදී නිර්දේශ කරන ලදී.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2302/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.