fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංගීතයේදී ගැටුණු තරුණයාට මත්ද්‍රව්‍ය අතින් දමා ඇල්ලූ පොලිස් සැරයන්ට වූ දේ..

    සංගීතයේදී ගැටුණු තරුණයාට මත්ද්‍රව්‍ය අතින් දමා ඇල්ලූ පොලිස් සැරයන්ට වූ දේ..

    සංගීත සංදර්ශන භූමියකදී ඇතිවුණු ආරවුලක් මුල්කරගෙන තරුණයෙකුව අල්ලාගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් පහරදී හෙරොයින් අතින් දමා අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වූ ජා-ඇල පොලිසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.

    ජා-ඇල පොලීසියේ සේවයේ නිරතව සිටි පොලිස් සැරයන් ඒ.එච්.එන්. ක්‍රිෂාන්ත නැමැති නිලධාරියාගේ වැඩ මෙසේ තහනම්කර තිබේ.

    මෙම නිලධාරියා තවත් නිලධාරීන් තිදෙනෙක් සමඟ ඉකුත් 05 වෙනිදා රාත්‍රී කාලයේ සිවිල් ඇදුමින් සැරසී ජා-ඇල පැවති සංගීත සංදර්ශනයක් නැරඹිමට ගොස් ඇත. බීමත්ව සිටි මෙම නිලධාරීන් සංගීත සංදර්ශන භූමියේ නටමින් විනෝද වෙමින් සිටි තරුණයින් පිරිසක් සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබේ.

    එහිදී මෙම නිලධාරීන් සිය පොලිස් බලය පෙන්වමින් අනීතිකව ඔවුන් සමග ගැටුණු තරුණයින්ව අල්ලාගෙන විත් පොලිස් සිරමැදිරියේ සිරකර එක් තරුණයෙකුට හෙරොයින් ග්‍රෑම් 1200ක් අතින් දමා ඔහුව හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බවට පොලිස් පොත්වල සටහන් තබා ඇත.

    මෙම අවස්ථාව වන විට පොලිස් ස්ථානාධිපතිවරයා සිට ඇත්තේ කැලණිය පෙරහැරේ විශේෂ රාජකාරි සඳහා පොලිස් ස්ථානයෙන් පිටතට ගොසිනි. පෙරහැර රාජකාරි අවසන්ව ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානයට පැමිණෙන විට පොලිස් ස්ථානයේ ගේට්ටුව අසල රැදී සිටි එම තරුණයින්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ ගැන පොලිස් ස්ථානාධිපතිවරයාට පවසා තිබේ. එහිදී ඔවුන් චෝදනාකර ඇත්තේ ඔවුන් සතුව තිබුණු මුදල් හා රන් මාලද පොලිස් නිලධාරීන් විසින් පැහැරගත් බවය.

    මෙහිදී වැඩේ වැරදුණු බව දැනගත් මෙම තරුණයින්ව රැගෙන විත් හෙරොයින් නඩුවක් ගොනු කිරීමට මුල්වුණු පොලිස් සැරයන්වරයා නැවතත් පොලිස් පොත වෙනස්කර ඇත්තේ හෙරොයින් වෙනුවට නීතිවිරෝධී මත්පැන් සමඟ එම තරුණයා අත්අඩංගුවට ගත් බවටය. එම සටහන් වෙනස් කිරීමෙන් පසු එම තරුණයා ඇතුළු සිර මැදිරියේ සිරකර සිටි සියළුම තරුණයින් මුදාහැර යැවීමට පියවර ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට දැන ගැනීමට ලැබීමෙන් පසු පොලිස් පොත් රැගෙන විත් පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ පොත වෙනස්කර ඇති බවය. සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරෙන්නේ ඒ සම්බන්ධයෙනි. උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ අතින් කුඩු දමා එම තරුණයාව හිරේ යැවීමත් පසුව එය නීති විරෝධි මත්පැන් නඩුවක් බවට පත්කිරීමත් සම්බන්ධයෙන් මෙම සැරයන්වරයා සම්බන්ධයෙන් සහ එම නිලධාරියා සම්බන්ධයෙන් නිසි පියවර නොගත් ජ-ඇල පොලීසියේ නිලධාරීන්ට එරෙහිවද පියවර ගන්නා බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.