fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මගී නෞකා ආකාර්ෂණය කර ගැනීමට හම්බන්තොට වරායේ සූදානමක්

    මගී නෞකා ආකාර්ෂණය කර ගැනීමට හම්බන්තොට වරායේ සූදානමක්

    හම්බන්තොට ජාත්‍යන්තර වරායට සංචාරක මගී ප්‍රවාහන නෞකා විශාල වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අදහසින්, ප්‍රවර්ධන වැඩසටහනක් ලබන වසර ආරම්භයේ දී පටන් ගැනීමට වරාය කළමනාකාරීත්වය තීරණයකර ඇත.

    මේ හරහා, 2023 වසරේ වරායට පැමිණීමට නියමිත නෞකාවන් සංඛ්‍යාව 2022 වර්ෂය මෙන් තුන් ගුණයක් වනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) අපේක්ෂා කරයි.

    ඒ සම්බන්ධයෙන් හම්බන්තොට වරායෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    දැනට පවත්නා ගෝලීය නැඹුරුතාවන්ට අනුව, මැද පෙරදිගින් ආරම්භ වී පෙරදිගින් අවසන් වන නාවික මාර්ග භාවිතයේ වැඩිවීමක් දක්නට තිබෙන බව, HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි. “එසේ බලන විට සංචාරක නැව් ක්ෂේත්‍රය විසින්, සංචාරකයින් සඳහා සාදා ඇති පැකේජයන්හි ඇතුලත් වන වරායන් අතර HIP ඉතාමත් සුවිශේෂී ආකර්ශනීය ගමනාන්තයක්. අනෙකුත් බොහෝ වරායන්හිදී දැකගැනීමට නොහැකි, ගොඩනැගිලි වලින් ජනාකීර්ණ නොවූ හරිත පරිසරයක් අප වරාය තුළ අත්දැකිය හැකියි. අපගේ සංවිධානාත්මකභාවය, හරිත, පිරිසිදු වටාපිටාව අගයන බව, වරායට පැමිනෙන නෞකා වල කාර්ය මණ්ඩලයන් බොහෝමයක් සඳහන් කර තිබෙනවා. සංවිහිත සංචාරක චාරිකා මගින් දින භාගයක් තුළ බොහෝ දේ දැකබලා ගැනීමට සහ අත්විඳීමට හැකි වීම, HIP හට ඇති තවත් ආකර්ශණීය ලක්ෂණයක්. ඉදිරියේදී වරායට පැමිණෙන සංචාරකයින්ට, තීරු බදු රහිත සාප්පු සවාරි අවස්ථා ඇති කිරීමට ද, අපි අදහස් කරනවා. සංචාරක මගී නෞකා ගමනාන්තයක් ලෙස, හම්බන්තොට ජාත්‍යන්තර වරාය ප්‍රවර්ධනය කිරීමට අපි හොඳින් ස්ථානගත වී සිටිනවා."

    Azamara Quest නෞකාවේ කපිතාන් ජොහානස් ටිසේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, පිරිසිදු හා සංවිධානාත්මක බවින් යුත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඔවුන් යාත්‍රා කර ඇති ඇතැම් වරායන්ට වඩා ඉහළ තත්වයක පවතින බවයි.

    2022 වසර අවසානයේ සංචාරක නැව් දෙකක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණියේය. ඒ අතරින් ‘මේඉන් ෂිෆ් 5’ නෞකාව ඊජිප්තුව, ජෝර්දානය, ඕමානය, ඩුබායි, ශ්‍රී ලංකාව, මැලේසියාව, වියට්නාමය සහ තායිලන්තය යන රටවල වරායන් කිහිපයකට යාත්‍රා කරමින් ඩුබායි සිට සිංගප්පූරුව දක්වා දින 46 ක ගමනක යෙදී සිටියේය. Azamara Quest නෞකාව ඩුබායි සිට සිංගප්පූරුව දක්වා සති 2 ක යාත්‍රාවක යෙදී සිටි අතර, මුම්බායි, කොචින් සහ කොළඹ වරායන්ට පැමිණ ඉන්දුනීසියාවේ ‘ආචේ’ වෙත සේන්දු විය. Azamara Quest හි නැව් නියෝජිතයා Prudential Shipping සමාගමයි.

    හම්බන්තොටට පැමිණෙන විදේශික සංචාරකයන්ට සංවිධානාත්මක සංචාර ඔස්සේ යාල, බූන්දල, හම්බන්තොට උද්භිද උද්‍යානය, රිදියගම සෆාරි උද්‍යානය, හම්බන්තොට කුරුළු උද්‍යානය, හම්බන්තොට ෂැංග්‍රිලා හි ගොල්ෆ් රිසෝට් සහ ස්පා, හම්බන්තොට නගර සංචාර, කතරගම, මුල්කිරිගල, උඩවලව ජාතික උද්‍යානය සහ ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන රැසක් දැකබලා ගැනීමට හැකි වේ. සංචාරක මාර්ගෝපදේශකයන්ට තංගල්ල, හම්බන්තොට සහ ගාල්ල වෙරළ තීරයන් පිළිබඳ විශාල අත්දැකීම් සමුදායක් ඇති අතර ඇල්ල දක්වා වුවද සංචාරකයින් රැගෙන යා හැකිය. තනිව සංචාරය කිරීමට කැමති විදේශිකයන්ට දේශීය ත්‍රීවීලර් රථ රියදුරන්ගේ සහයෙන් දකුණු පළාතේ දර්ශනිය ස්ථාන නැරඹීමටද හැකියාව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.