fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත්කඩේ උසාවියේ රන් සොරකමේ විමර්ශන සී.අයි.ඩී.ය භාරගනී

    අලුත්කඩේ උසාවියේ රන් සොරකමේ විමර්ශන සී.අයි.ඩී.ය භාරගනී

    කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු නඩු දෙකකට අදාල උණු කළ රන් කැබලි දෙකක් අතුරුදන්වීම සම්බන්දයෙන් පරීක්ෂණ භාරගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ අධිකරණ පරීශ්‍රයට පැමිණ සිය මූලික විමර්ශන කටයුතු සිදුකරනු ලැබීය.

    එහිදී මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ රෙජිස්ට්‍රාර් තිදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේම ප්‍රකාශ සටහන්කරගෙන ද තිබේ.

    නඩු භාණ්ඩ ගබඩාගත කෙරන ක්‍රියාවලිය ගැන මෙන්ම එම නඩු භාණ්ඩ ගබඩාවෙන් පිටතට ලබාදීමේ ක්‍රියාවලිය ගැන ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක් යොමුවී ඇති බව සඳහන්ය.

    අධිකරණ සංකීර්ණයේ ඇති ආරක්ෂක කැමරා පද්ධතියේ ක්‍රියාකාරිත්වය ගැනද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්ව තිබේ. රන් භාණ්ඩ අතුරුදන් වී ඇත්තේ ආරක්ෂක කැමරාවලින් රිංගා බැවින් යැයි මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇති බැවින් එසේ ආරක්ෂක කැමරා පද්ධතිය ගැන අවධානයක් යොමුව ඇත.

    සැකයට ලක්වන පුද්ගලයින්ගේ ජංගම දුරකතන ජාල පරීක්ෂාවකට පවා මේ වන විට ලක්ව ඇති අතර ඒ තුළින්ද බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.