තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙට හිතුමතේ සල්ලි විසිකරන්න බැරිවෙන කෙටුම්පත පාර්ලිමේන්තුවට

    ඡන්දෙට හිතුමතේ සල්ලි විසිකරන්න බැරිවෙන කෙටුම්පත පාර්ලිමේන්තුවට

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (08) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් එය මැතිසබයට ඉදිරිපත් කර තිබුණි.

    මෙය, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනත යටතේ පවත්වනු ලබන සෑම ඡන්ද විමසීමකම, අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීම පිණිස සහ ඊට සම්බන්ධ සහ ඊට අදාළ සෙසු කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

    මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර එය දිනේෂ් ගුණවර්ධන කමිටුවේ ද නිර්දේශයකි.

    ‘මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ’ අවසන් වාර්තාව, එහි සභාපති, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පසුගිය ජුනි 22 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. එහි මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර එහි 10 වන නිරීක්ෂණය මෙසේය.

    ” 10. වත්මන් මැතිවරණ  ව්‍යාපාරය තුළදී එක් අපේක්ෂකයකු විසින් දැරිය යුතු වන අධික මුදල් ප්‍රමාණය හේතුකොට ගෙන දේශපාලන ක්‍රමය තුළ දුෂණය සඳහා වන අවස්ථා ඉහළ නංවන අතර එතුලින් ප්‍රචණ්ඩත්වය ඇතිවීම ද සිදුවේ.  දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් අතර මනා  තරගකාරිත්වයක්  සහ තරග කිරීමට සම බිමක් පවත්වාගැනීම ඉන්  නිශේධනය වන බැවින් නිදහස් හා සාධාරණ මැතිවරණ කෙරෙහි එමගින් හානිකර බලපෑමක් නිර්මාණය විය හැකිය. ”

    දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවේ වාර්තාවේ ඒ සම්බන්ධයෙන් වන නිදේශය, නව කෙටුම්පතේ 6 වන අංකය යටතේ පහත පරිදි සඳහන් කර ඇත.

    ” (6) මැතිවරණ ප්‍රචාරණ කටයුතු*
    (අ)   මැතිවරණ වියදම් පාලනය කිරීම

    අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද 2021.11.16  දිනැති ‘’මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සලසන නීති සම්පාදනය කිරීම’’ යන මැයෙන් වූ  අමාත්‍ය මණ්ඩල සංදේශය සළකා බැලීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් 2021.11.29  වැනි දින පවත්වන ලද සිය රැස්වීමේදී වර්තමාන අවශ්‍යතාවයට සපුරාලිය හැකි වන පරිදි මැතිවරණ වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය ප්‍රතිපාදන කඩිනමින් සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් කෙටුම්පත් කිරීමේ කාර්යය නිමකිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට තීරණය කරන ලදි.

    කාරක සභාව විසින්, අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද  ඉහත කී තීරණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලසීමට නීති පැනවීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බවට නිර්දේශ කරනු ලැබේ.”

    මෙම පනත් කෙටුම්පත  පහත සබැඳියෙන් ලබාගත හැක. http://documents.gov.lk/files/bill/2022/11/290-2022_S.pdf

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img