fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාලට යන සංචාරකයන්ට විවේක පරිශ්‍රයක්

    යාලට යන සංචාරකයන්ට විවේක පරිශ්‍රයක්

    යාල වනෝද්‍යානයේ වන සතුන් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට වනාන්තරය තුළ සැරිසැරීමට ඉඩ නොලැබෙන කාලය තුළදී ගතකිරීමට විවේක පරිශ්‍රයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව යාල වනෝද්‍යානයේ මුහුද අසල බිම් තීරුවක් දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා සකස් කිරීම මේ දිනවල සිදු කෙරේ.

    යාල වනාන්තරයේ පට්ටනංගල Block B කොටසේ මෙම විවේක පරිශ්‍රය ද වෙන් කර ඇති අතර වාහන 200ක් පමණ එහි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැළසේ.

    වන සතුන්ට සහ වෘක්ෂලතාවලට හානියක් නොවන අයුරින් මෙම විවේක ස්ථානය ඉදි කිරීමට කටයුතු කර ඇත.

    එහි සංචාරකයින්ට අවශ්‍ය ආහාර පාන මෙන්ම ශ්‍රී ලංකාවේ වන සතුන් හා වෘක්ෂලතා සම්බන්ධව සංචාරකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතය.

    මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 56කි.

    යාල වනෝද්‍යානයේ වන සතුන් නැරඹීම සඳහා දෛනිකව වාහන 400කින් පමණ දෙස් විදෙස් සංචාරක පිරිස් පැමිණෙති.

    මෙම දෙස් විදෙස් සංචාරකයින්ට වනාන්තරයට අයත් කළාපවල සංචාරය කරන අතරතුර දිවාකාලයේ විවේක ගැනීම සඳහා මෙතෙක් පහසුකම් සහිත සුදුසු ස්ථානයක් නොවීය.

    විශේෂයෙන් මධ්‍යහ්න 12 සිට පස්වරු 02 දක්වා පැය දෙකක කාලයක් වනාන්තරය තුළ සැරිසැරීමට ඉඩ නොලැබේ. වනසතුන්ට හිරිහැරයක් වන බැවින් එම කාලය තුළ වාහන විවිධ ස්ථානවල නවත්වා ගෙන සිටීම මෙතෙක් සිදුවිය.

    නමුත් එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින්ට ආහාර පාන මෙන්ම වෙනත් අධ්‍යාපනික වැඩ සටහන්වලට සහභාගි වීමේ පහසුකම් සැලසීම සඳහා විවේක පරිශ්‍රයක් ඉදි කරන්නැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් අමාත්‍යාංශය මහින්ද අමරවීර මහතා වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතාට උපදෙස් දුන්නේය.

    ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවට පෙර මෙන් සංචාරකයින් නැවත පැමිණෙන බැවින් විශේෂයෙන් අප රටේ අභයභූමි ආශ්‍රිතව ඔවුන්ට ලබාදිය හැකි පහසුකම් වැඩි කිරීමටත්, ආකර්ශණීය සේවාවන් ලබා දීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා වනජීවි නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා ඉහත ස්ථානය නිරීක්ෂණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.