fbpx
තවත්
    මුල් පිටුවspecialමිනිස් පළිහට විසඳුම

    මිනිස් පළිහට විසඳුම

    “ඔය.. උද්ඝෝෂණවලට ගියායි කියල මේ ළමයිංගෙ බඩ කටවල් පිරෙනවද, ඔය කොළේ අරගල කරනවයි කියල ඒකෙං වුනේ ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වැඩක්නේ ඇත්තට, යන්තං තමුසෙ හිරේ විලංගුවෙ ලගින්නේ නැතුව බේරුනා මදැයි” අමරබන්දු හාමිනේ මුළුතැන් ගෙයි සිට සාලයේ ඇදි පුටුවක් ගුළි වී සිටිනා අමරබන්දුට තමන් මුහුන දෙන කටුක යතාර්ථය පහදමින් සිටින්නීය.

    “ඔය බඩකඩුත්තුවල ගියහම කොහොමද මිනිහෝ මම වැඩට යන්නේ, මේ හිච්චි එකා තනියෙම ගෙදර දමලා.. පොඩ්ඩක් හිතනවකො” හාමිනේ අමරබන්දුගේ දෙසවන් සිසාරා යන තුරා බෙරිහන් දෙයි. නමුත් ඇය පවසන්නේ සැබෑවකි. අවුරුදු පහක්වත් නැති පොඩි එකා ගෙදර තනි පංගලමේ දමා ඇය කෙසේ යන්නද. අවසන අමරබන්දු සාලයේ සිටම බෙරිහන් දී හාමිනේහට පිළිතුරු බැන්දේය.

    “මං හිච්චි එකාවත් අරගෙනම යන්නං” යැයි හාමිනේගේ කන්දොස්කිරියාවෙන් බේරෙනු වස් අමරබන්දු දිවට නොදැනී කියා දැමුවද ඉන් හාමිනේ සැනසුනේ අඩලයට මෙනි.

    සරමට උඩින් හැදගත් සුපුරුදු රතු කමිසය හා කැප් තොප්පිය අමරබන්දු හට එක් කළේ අමුතුම හැඩයකි. හිච්චි එකාවද කිහිලි ගන්වාගත් හෙතෙම නිවසින් දොට්ට බැස්සේ රටේ මතු පරපුර වෙනුවෙන් අධම පාළකයින් රොත්තක් එළවා දැමීමේ කර්තව්‍යයට තමන්ගෙන්ද ලැබෙන අබ ඇටයක තරම් වූ කැප කිරීම පිළිබදව තම සිතේ ඇති වූ සියුම් ආඩම්බරයත් සමගය.

    උද්ඝෝෂණ භූමියට පිවිසෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී අමරබන්දුගේ ගමනට බාධා පමුණුවමින් ඔහුව නවතාලූයේ රටේ නීතිය කරන නිලදරුවෙකි.

    “ආ අමරබන්දු අංකල් මෙතැනින් එහාට යන්න දෙන්න බෑ” නිලදරුවා කියා සිටියේය.

    “ඒ මොකද මහත්තයො ඒ.. උද්ඝෝෂණය පටන් ගන්නත් කළින්ම අපිට ගහන්නද හදන්නේ” නිලදරුවාගේ නියෝගයෙන් අන්දමන්ද වූ අමරබන්දු පෙරළා විමසුවේය.

    “අනේ නෑ අංකල්, අපි මොකටද අංකල්ල වගේ අයට ගහන්නේ, ඔය වඩං ඉන්න දරුවත් අරං ඉස්සරහට යන්න එපා කියලයි කිව්වේ” නිලදරුවා වැඩිදුර පහැදුවේය.

    “ඒ මොන හතරබීරි කතාවක්ද දරුවො, මේ මගෙ හිච්චි එකා, ඌව තනියෙං ගෙදර තියල එන්න විදිහක් නැති නිසානෙ මේ මූව කිහිලිගහං ආවෙ” අමරබන්දුත් වැඩිදුර පැහැදිලි කළේය.

    “ඇයි අංකල් අපේ අටවන ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළානෙ උද්ඝෝෂණවලට දරුවො ඉස්සරහට දාගෙන එන්නෙ මිනිස් පළිහක් විදිහට අර ප්‍රභාකරන් උතුරෙ කළා වගේ කියාලා” නිලදරුවා කීය.

    “මොන මිනිස් පළියක්ද බං මේ අපේ ලෙයිං උපං දරුවො නෙව” අමරබන්දු ගේ හඩ එවර තරමක් ආවේගයෙන් උස් විය.

    “කරන්න දෙයක් නැහැ අංකල්, ඔන්න දැං ගැසට් එකකුත් ගහල තියෙන්නේ ළමයි අරං උද්ඝෝෂණවලට එන්න බැහැ කියාලා” නිලදරුවාගේ හඩ එවර තරමක් නෝන්ජල්ය.

    ” බම්බුවෙ ගැසට්, මෙන්න මෙහාට වෙයං බං මට උද්ඝෝෂණයට යන්න” කියමින් අමරබන්දු අඩියක් ඉදිරියට තැබුවේය.

    “අංකල් ඉස්සරහට යන්න නං ළමයව අපිට භාර දීල යන්න” නිලදරුවා නැවතත් කීය.

    “මගෙ හිච්චාව තොපිට දීල යන්න තොට අමු කැවිලද?” අමරබන්දුගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නට ඔන්න මෙන්නය.

    “ඔවු අංකල්, ගැසට් එකේ තියෙන්නෙ එහෙමයි, ඔයගොල්ලො උද්ඝෝෂණය කරල එනතුරු ළමයි අපේ භාරෙ තියන්න ඕනෙ” නිලදරුවා වැඩිදුරටත් කීය.

    “එතකොට මාව උඹලෑ එවුං කුදලං ගිහිං කූඩු කළොත් මගෙ හිච්චාට මොකෝ වෙන්නේ” අමරබන්දු ඇසුවේ කදිම පැනයකි. ඉන් නිලදරුවා මහත් සේ අන්දමන්ද වී ගිය හැඩකි.

    “ඇත්තටම අංකල් එහෙම එකක් ගැන නං ගැසට් එකේ තිබ්බෙ නැහැ” නිලදරුවා නොදරුවෙකු සේ පිළිතුරු දුන්නේය.

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.