fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"Aeroflot ගුවන්යානා ප්‍රශ්නය විසඳගන්න මම මැදිහත් වුණා"

    “Aeroflot ගුවන්යානා ප්‍රශ්නය විසඳගන්න මම මැදිහත් වුණා”

    රුසියානු Aeroflot ගුවන් සේවය මෙරටට ගුවන් යානා එවීම මීට මාස 4කට පෙර නවතා දැමීමේ සිද්ධියේදී එය යථාතත්වයට පත්කිරීම සඳහා තමා මැදිහත් වූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    වාණිජ අධිකරණය විසින් පනවන ලද නියෝගයක් හේතුකොටගෙන Aeroflot ගුවන් යානයක් රඳවා තබාගෙන සිට පසුව නිදහස් කිරීමේ සිද්ධියට අදාළව එම ගුවන් සේවය මෙරටට ගුවන් යානා එවීම නතර කොට තිබූ අතර, ඊයේ සිට යළිත් ගුවන් යානා එවීම ආරම්භ කර තිබේ.

    ගුවන් යානා නතර කිරීම නිසා මෙරට ආර්ථිකයට සිදුවීමට ගිය බරපතළ පාඩුව පිළිබඳ දන්වමින් රුසියානු ජනාධිපතිවරයාට යවන ලද ලිපියට පිළිතුරු ලිපියක් ද ඔහු විසින් එවා තිබූ බවත්, එමෙන්ම මෙම තීරණයට එළැඹීම ගැනත් මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට සිය ස්තූතිය පළකළේය.

    “මාස 3කට පසු රුසියානු Aeroflot ගුවන් සේවය නැවතත් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව රුසියානු ජනාධිපතිතුමන් ඇතුළු රුසියානු බලධාරින්ට ස්තූතිවන්ත වෙමි. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථිකමය ගැටළුකාරී තත්වය තුළ රුසියානු Aeroflot ගුවන් ගමන් නවතා දැමීම මෙරට ආර්ථිකය තවත් පහළට වැටෙනු ඇති බව මා දුටු නිසා පක්ෂ බේද පසෙකලා එම අවස්ථාවේ දී මා මේ ගැටළුව නිරාකරණය කිරිම සදහා මැදිහත් විය. රුසියානු ජනාධිපතිතුමන්ට මා ලිපියක්ද යොමු කරමින් මේ පිළිබඳව කරුණු දැක්වු අතර ඉන් පසුව රුසියානු ජනාධිපතිතුමන් මා හට ලිපියක් යොමු කල අතර ඒ ලිපිය පිළිබඳ කරුණු මා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේය. මාස 3කට පසු රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා නැවතත් අද ආරම්භ විය. එය සංචාරක කේෂ්ත්‍රයටද මහඟු පිටුවහලක් වනු නොඅනුමානය.” යැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.