fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආගමන විගමන පනතට පිටුපෑ ස්කොට්ලන්ත කතට රටින් යන්න කියයි

    ආගමන විගමන පනතට පිටුපෑ ස්කොට්ලන්ත කතට රටින් යන්න කියයි

    වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරට තුළ රැඳී සිටින අතරතුරදී, ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල පැවති අර්බුදකාරී තත්ත්වය සහ ආරක්ෂක අංශ පිළිබඳ සාවද්‍ය ප්‍රකාශ ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ කයිලි ෆ්‍රේසර් නමැති ස්කොට්ලන්ත කාන්තාවගේ වීසා අවලංගු කොට, ඇයට සිය රටට ආපසු යන්නැයි මෙරට බලධාරීන් දැනුම් දී තිබේ.

    ප්‍රසිද්ධියේ ඇය කරන ලද චෝදනා සම්බන්ධයෙන් මෙරට ආගමන විගමන නිලධාරීන් විමර්ශනයක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ 2019 වසරේදී ස්කොට්ලන්තයේ සිට ඇය මෙරටට පැමිණ ඇත්තේ වෛද්‍ය වීසා මත වුවද ඇය මෙරට දී වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ දෙවරක් පමණක් බවයි.

    එහිදී ඇය වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරට තුළ රැඳී සිට ඇති බවට හෙළිවී තිබේ.

    මෙරට මිනිසුන් දුක්විඳින විට තමාට නිවසේ රැඳී සිටීමට නොහැකි බැවින් ඇය මහමගට බැස අරගලය සමඟ එක්වූ බව ඇය සිය සමාජ ජාල ගිණුමේ සජීවී විකාශ ඔස්සේ කඳුළු සලමින් පවසා තිබුණි.

    ගාලුමුවදොර පැවති විරෝධතාවයට සම්බන්ධ වූ ඇය ඡායාරූප, සජීව වීඩියෝ ආදිය පළකරන ලද්දේ බොහොමයක් මෙරට ආරක්ෂක අංශවලින් විරෝධතාකරුවන්ට හිරිහැර සිදුවන බවට ව්‍යාජ ප්‍රකාශ ද ඉදිරිපත් කරමිනි.

    කෙසේවෙතත් ඇයගේ ආගමන විගමනික තොරතුරු පිළිබඳ විමර්ශනයේදී ද ඇය ආගමන විගමන නිලධාරීන්ට එරෙහි ප්‍රකාශ ප්‍රසිද්ධ කළේ ශ්‍රී ලංකා රජය ඇයට හිරිහැර කරන බවත්, ඇයට යන්න කියන්නේ ඇයි දැයි චෝදනා කරමිනි.

    ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඇයගේ චෝදනා විමර්ශනය කර ඇති අතර ඇයට ශ්‍රී ලංකාව හැර යන ලෙස දන්වා ඇත.

    ඇය වෛද්‍ය වීසා මත ලංකාවට පැමිණ තිබුණ ද ඇය වෙනත් කටයුතු අරමුණු කරගනිමින් මෙරටට පැමිණ ඇති බවක් ඇයගේ මෙරට තුළ ගෙවුණු වසර 3ක කාලයේ කළ ක්‍රියාකාරකම් පිරික්සීමෙන් පෙනී ගොස් ඇති බව ආගමන විගමන ප්‍රකාශකයෙක් නිව්ස්වේව් වෙත හෙළි කළේය.

    මෙරට තුළ ජෛව විවිධත්වයෙන් යුත් වටිනා ශාක ඖෂධ පිළිබඳ තොරතුරු පවසන අතරතුරදී, ඇබ්බැහිවීම්, මානසික ප්‍රශ්න, ලිංගික ගැටලු, සම්බන්ධතා ප්‍රකෘති කරන ආකාරය ආදිය පිළිබඳ ඔන්ලයින් චිකිත්සක ක්‍රම ඇය විසින් මෙරට තුළදී සිදුකරමින් මුදල් උපයමින් සිට ඇත.

    එමෙන්ම ඇය විසින් මෙරට තුළ සිටිමින් යම් යම් නිෂ්පාදන කර ඔන්ලයින් අලෙවි කිරීමේ යෙදී ඇති බවට ඇයගේ සමාජ ජාල ගිණුම් ඔස්සේ ඇය ප්‍රවර්ධනය කරන වෙබ් අඩවියකින් පෙනී යයි.

    ඇය 2019 දී ශ්‍රී ලංකාවට පැමිණෙන බවට හැඟවෙන පරිදි සමාජ ජාල ගිණුමේ මුදාහැර ඇති සටහනක ඇයගේ මිතුරු මිතුරියන් සඳහන් කර තිබුණේ, අවසානයේ ඇය අරමුණු කළ ඉලක්කයට යා හැකි වීම පිළිබඳ සුබපතන බවත් ඇය මෙරටට පැමිණි පසු කුතුහලය දනවන පුවත් හා ඡායාරූප අපේක්ෂාවෙන් සිටින බව ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.