විරෝධතා පැවැත්වීමට වෙන්කර ඇති ගාලු මුවදොර භූමිය තුළ අරගලකරුවන්ට ඔවුන්ට කැමති කාලයක් රැදී සිටීමට ඉඩ දීමට ආරක්ෂක බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.
ආරක්ෂක අංශයක උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ උද්ඝෝෂණ පැවැත්වීමට වෙන්කර ඇති කොටස ගැසට් පත්‍රයකින් ප්‍රකාශයටපත්කර ඇති ස්ථානයක් බැවින් එම ස්ථානයේ කොපමණ කාලයක් උද්ඝෝෂකයන් රැදී සිිටියත් ගැටළුවක් නොවනු ඇති බවය.
ආරක්ෂක අංශවට ඊයේ අලුයම් කාලයේදී ඉවත් කිරීමට සිදුවූයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලේ රැදී සිටි පිරිස් සහ පිටත මාර්ගයේ පදික වේදිකා අල්ලාගෙන සිටි පිරිස් පමණක් බවද එම නිලධාරියා කීය.
විරෝධතා පැවැත්වීමට වෙන්කර ඇති කොටසින් පිටත යම් අට්ටාලයක් හෝ කූඩාරමක් ගසාගෙන විරෝධතා දැක්වීමට යමෙක් සූදානම් වන්නේ නම් ඒ අය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ යෙත නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.