ගාලුමුව දොර අරගලකරුවන්ට එල්ලවූ ප්‍රහාරය ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩිව හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබුණි බව ද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිකුත් කළ එම නිවේදනය මෙසේය.
“ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොර රැඳී සිටි විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රියේ බලධාරින් විසින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස පහරදීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකියි.”
“ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබේ. එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළ නීතීඥවරුන් කිහිප දෙනෙකුම බලධාරින් විසින් වළකා ඇත. තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත දන්වා ඇත. නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශනවල දැක්වේ.”
“අවම වශයෙන් එක් නීතීඥයෙකු සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ත්‍රිවිධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත තොරතුරු ලැබී ඇත. සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන මෙම ක්‍රියාවන් වහාම නතර කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී.”
“නීතියේ ආධිපත්‍යයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරන බවට සහතික වන ලෙසට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ඔහුගේ රජයෙන් ඉල්ලා සිටී. නව ජනාධිපතිවරයා බලයට පත් වූ පළමු දිනයේදීම සිවිල් විරෝධතා මැඩපැවැත්වීම සඳහා සන්නද්ධ හමුදාවන් යොදා ගැනීම අපේ රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත.”
“මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී. මෙම ක්‍රියාවන්ට නියෝග දුන් අය ඇතුළුව සම්බන්ධ වූ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගකීම ගතයුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි.”