තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්8 වැනි විධායක ජනපති රනිල්

    8 වැනි විධායක ජනපති රනිල්

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීමෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරමින් මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වී තිබේ.

    පාර්ලිමේන්තුවේ මීට ටික වේලාවකට පෙර පැවති රහස් ඡන්ද විමසීමෙන් ඔහු ඡන්ද 134 ක් ලබාගෙන තිබූ අතර සෙසු ජනාධිපති අපේක්ෂකවරුන් වූ ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක් සහ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3ක් ලබාගෙන තිබුණි.

    ප්‍රකාශිත ඡන්ද 223න් 4ක් අවලංගු වී තිබුණි. වලංගු වූයේ ඡන්ද 219කි.

    මන්ත්‍රීවරුන් වන සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ ජී.ජී. පොන්නම්බලම් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.

    මෙරට ප‍්‍රථම සිංහල දිසාපතිවරයා වූ සී. එල්. වික‍්‍රමසිංහයන්ගේ සහ ඞී. ආර්. විජයවර්ධන මහතාගේ දෙටු දියණියගේ පුතණුවකු වූ එස්මන්ඞ් වික‍්‍රමසිංහයන්ගේ පවුලේ දෙවැනි පුතු වූ රනිල් ශි‍්‍රයාන් වික‍්‍රමසිංහ මහතා උපත ලද්දේ මීට වසර 73කට පෙර 1949 මාර්තු 24 වැනිදාය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිය හදාරා අධිනීතිඥයකු වශයෙන් අධිකරණයට පිවිසි රනිල් වික‍්‍රමසිංහ මහතා කැලණිය ආසනයෙන් දේශපාලන කටයුතු ආරම්භ කරන්නේ 1972 වසරේදීය.

    පසුව අලුතින් ඇතිකළ බියගම ආසනයට එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායක වශයෙන් ඉදිරිපත් වන රනිල් වික‍්‍රමසිංහ මහතා 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන මැතිසබයට පිවිසියේය. එවකට විදේශ කටයුතු නියෝජ්‍ය්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා 1977 ජූලි 23 වැනි දින සිට 1978 පෙබරවාරි 04 වැනිදා දක්වා එම නියෝජ්‍ය අමාත්‍ය පදවිය දැරුවේය. රනිල් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ බිහිවූ යෞවන කටයුතු හා රැකීරක්ෂා ඇමැතිවරයා වශයෙන් විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේ එම ඇමැති මණ්ඩලයේ ළාබාලම ඇමැතිවරයා වශයෙනි. එවිට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වයස අවුරුදු 27කි.

    එතැන් සිට 1994 දක්වා අවුරුදු 15ක් එක දිගට ඇමැති තනතුරු දැරූ ඔහු 1993 දී සිදුවූ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අභාවයෙන් පසු අගමැති පදවියට පත්විය. ඒ අනුව අවුරුදු 15ක කාලයක් මැති, ඇමැති අගමැති තනතුරු හෙබවීය. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 1978 වසරේ සිට තරුණ සේවා සභාව තුළ ඇතිවූ නවෝදය මෙරට තරුණ පරපුරේ විවිධ හැකියාවන් උදෙසා ලද දේව වරමක් බඳුවිය. ගමින් ගම ඇරඹුණු යෞවන සමාජ වැඩපිළිවෙළ නිසා බිහිවූ යොවුන් නායක නායිකාවන් ප‍්‍රමාණය අතිවිශාලය. නිස්කෝ තරුණ ණය වැඩසටහන, රසික හවුල, යෞවන සමාජ සම්මේලනය, යොවුන් ගී කණ්ඩායම, යොවුන්පුරය, යොවුන් කඳවුරු කී‍්‍රඩා තරග ආදී වැඩසටහන් තරුණ දක්‍ෂතා ඉස්මතු කරගැනීමට ඉඩකඩ ලබාදුන් වේදිකාවන් විය. අද මෙරට ගායන ක්‍ෂේත‍්‍රයේ සිටින ගායක ගායිකාවන් රැසක් බිහිවූයේ මෙම යොවුන් ගී කණ්ඩායම තුළිනි.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිතයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා විවාහ වන්නේ ද එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාරගැනීම යන විශේෂිත සිදුවීම් දෙකම වී ඇත්තේ 1994 දීය. ඔහු මුලින්ම අගමැති වූයේ වයස අවුරුදු 44 දීය. ඒ 1993 මැයි 7 – 1994 අගෝස්තු 19 දක්වාය. අනතුරුව 2001 දෙසැම්බර් සිට 9 – 2004 අප්‍රේල් 6 දක්වාත්, 2015 ජනවාරි 9 – 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගොස්තු 17 – 2018 ඔක්තෝබර් 26 දක්වාත්, 2018 දෙසැම්බර් 16 – 2019 නොවැම්බර් 20 දක්වාත් අගමැති විය. මේ වසරේ දී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වූයේ 6 වැනි වතාවටයි. 6 වරක් අගමැති පදවියට පත්වූ ලෝකයේ එකම දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු කිසිදා පාර්ලිමේන්තු වැටුප ලබා ගත්තේ හෝ පාර්ලිමේන්තු මැති ඇමැතින්ට හිමි නිදහස් වාහන බලපත්‍රද ලබා ගත්තේ නැති බව සඳහන් ය.

    2019 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පැරදුණ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම බෝනස් පාර්ලිමේන්තු අසුනට ඉදිරිපත් වීමට මාස ගණනාවක් ගිය පසුව එම පක්ෂයේ එකම නියෝජනය ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන්නට ඔහුට සිදුවිය. ජනතා ඡන්දයෙන් ජනපතිධුරයට හෝ අවසන් වරට පාර්ලිමේන්තුවට හෝ පත්වීමට දැරූ සියලු තැත අසාර්ථක වූ නමුදු ඔහු මෙවර ව්‍යවස්ථානුකූලව වැඩබලන ජනපතිධුරයටත් අද පැවැති ඡන්දයෙන් මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසත් පත්ව සිටියි.

    එමෙන්ම මෙවර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම ද ඓතිහාසික වූයේ පාර්ලිමේන්තුව හරහා ඡන්ද විමසීමකින් තෝරාපත් කරගැනීමට සිදුවීම නිසාය. මීට පෙර පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ඩීබී වි‍ජේතුංග මහතා පත්ව තිබුණේ ඒකමතිකව වීම ඊට හේතුවයි.

    දශක හතරකට අධික දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහිත රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා දේශපාලනයෙහි වැඩිම නිල පදවි සංඛ්‍යාවක් දරා ඇති දේශපාලන චරිත කිහිපය අතරට එක්වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img