fbpx
තවත්
    මුල් පිටුවspecialඅරගලයේ ආනිසංස සහ ආදීනව

    අරගලයේ ආනිසංස සහ ආදීනව

    සටහන 🖊️- විමංසා ලංකාප්‍රේම විසිනි

    මැයි නවය, ජුනි නවය සහ ජූලි නවය අරගලයේ සන්දිස්ථාන ලෙස අරගල කරුවෝ පවසති. “නවය නපුරු වෙයි” යන කියමන රාජපක්ෂවරුනට ආදේශ කරමින් සමාජ මාධ්‍ය හරහා පෝස්ට් සංසරණය වෙමින් පවතී. අරගලය ජයග්‍රාහි ලෙස සිදුවන බව කොටසක් කියද්දී, තව පිරිසක් අරගලය රට ප්‍රපාතයට හෙලන්නක් ලෙස ප්‍රකාශ කරති. මධ්‍යස්ථ ලෙස මත දෙක විමසුමට ලක් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

    අසංවේදී පාලකයින්ගේ අදූරදර්ශී තීන්දු තීරණ හේතුවෙන් පෝලිම් යුගයක් කරා ලංකාව ගමන් කරනු ලැබිණ. කොවිඩ්-19 වසංගත සමයේ ආර්ථික බලපෑමත්, ජාතික ප්‍රතිපත්ති නොමැති කමත්, බොහෝ දෙනා ප්‍රකාශ කරන දූෂණ වංචා හේතුවෙන් රට අගාධයෙන් අගාධයකට ගමන් කරනු ලැබිණ. රටේ විදෙස් මුදල් සංචිත අවසන් ව යනතුරු ආනයන මූලික පරිභෝජන රටාවකට විවෘත ආර්ථිකය හරහා අප සැම පුරුදු වූයෙමු. දූෂණ නිසාද, පරිභෝජන රටාවේ දුර්වලතා නිසාද, ආර්ථික සමාජයීය වශයෙන් ශ්‍රීලංකාව මේ අගාධය කරා කෙමෙන් කෙමෙන් ගමන් කරනු ලැබිණ. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස පෝලිම් යුගයක් කරා ලංකාව ගමන් කරනු ලැබිණ. කවුරු පිලිගත්ත ද, නැති වුවද සත්‍යය වන්නේ එයයි.

    ජනතා අසහනයත්, එය මනාව වටහා නොගත් පාලන තන්ත්‍රය අසංවේදී ලෙස රටේ පාලනය කටයුතු කිරීමත්, ජනතා නැගිටීමට පොහොර දමනු ලැබිණ. තම “සුවපහසු කලාපයේ” ගැලී සිටීමට කැමති ලාංකික ප්‍රජාව රටේ ඇතිවූ අපහසුතා හේතුවෙන් අරගල කිරීම කරා නැඹුරු වූහ.

    මෙම අරගලය විවිධ සිවිල් සංවිධාන, වෘත්තිය සමිති වලින් අරඹන ලද අතර, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පාර්ශවය තම මූල්‍යමය දායකත්වය නොමසුරුව ලබා දුන්හ. මුල් අවස්ථාවේදී විපක්ෂ දේශපාලන පක්ෂ නිද්‍රාශීලී වෘතයක් සහ අපහාසාත්මක දැක්මකින් යුතුව ජනතා අරගලය හෙලා දැක්කාහ. එහෙත්, ජනතාවගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීමත්, දේශීයව සහ අන්තර්ජාතික පාර්ශවය වල නොඅඩු සහයෝගය හමුවේ අරගලය තවමත් අඛණ්ඩව සිදුවෙමින් පවතී.

    මෙහි “අවස්ථාවේ ප්‍රයෝජනය” දුටු සමහර දේශපාලන නායකයින් අරගලය වෙත යොමු වීමේදී “අරගල කරුවන්ගෙන්” පහර කෑමට සිදුවූ අවස්ථා නිරීක්ෂණය විය. එමෙන්ම අරගලය වෙත පැමිණි වෙනත් දේශපාලනඥයින් අතුරු ආන්තරාවකින් තොරව අරගලයේ සිටින “තම පාක්ෂිකයින්” අමතා පිටත් වන අයුරු දක්නට ලැබිණ.

    ජනතා අරගලයේ ආනිසංස සහ එහි ආදීනව ගැන විමසා බලමු. සමාජ මාධ්‍යයන් හි පළවූ විවිධ මතිමතාන්තර සහ විවිධ පාර්ශව සමග අදහස් සාකච්ඡා කිරීමෙන් ලද අදහස් විමසීමෙන් මෙම ලිපිය සකසා ඇති අතර ඔබගේ මතවාද සංවාදය සඳහා විවෘතය.

    රුසියානු විප්ලවයෙන් පසු ලෙනින් සහෝදරයා කීවා යැයි සමාජ මාධ්‍යය තුල සංසරණය වන පෝස්ටුවේ අදහසට අනුව, අරගලයක් තුල සිදු වන මිනීමැරුම්, සොරකම්, ස්ත්‍රී දූෂණ සාධාරණීකරණය කොට ඇත. එහෙත් අද සමාජය තුල හොරකම, මැරකම හෙලා දකින අතර, අරගලය සිදුවන්නේ “සොරුන් එළවා දැමීමේ” ඒකායන පරමාර්ථය ඇතුව බව බුකිවාසීන් හට අද අමතක ව ඇත.

    අරගලය සංයමයකින් යුතු උගතුන් බුද්ධිමතුන් පමණක් නොව, කුඩුකාරයින් හොරුන් අසහනකාරයින් ගෙන්ද සමන්විත වූවක් බව සිහියෙන් අරගලය දෙස බලන ඕනෑම අයෙකුට ප්‍රත්‍යක්ෂ වන දෙයකි.

    අරගලයේ ආනිසංස

    අරගලයේ ආනිසංස බොහෝමයක් ඇත. ජනපතිවරයා, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය එළවා දමන්නට ඔවුන් බිත්තියට හිර කිරීමට අරගල කරුවන් සමත්ව ඇත. එය අරගල කරුවන්ගේ ප්‍රමුඛතම ජයග්‍රහණය වේ. එමෙන්ම සමාජමාධ්‍ය හරහා රටේම පිළිලයක් ලෙස හුවා දැක්වූ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ වරුන් රඟ දැක්වූ දේශපාලන නාටකය අවසන් කිරීමට එය කෙතරම් දුරට සාර්ථක ලෙස ක්‍රියාත්මක වීද?

    ඉහත දැක්වූ ජයග්‍රහණ අරගලකරුවන්ගේ පමණක් නොව, ඔවුන්ගේ පසුපස සැඟව ක්‍රියාත්මක වන ජවිපෙ ප්‍රමුඛ දේශපාලන පක්ෂත්, නීතීඥ සංගමය ප්‍රමුඛ ඊනියා වෘත්තිය සමිතීත් ඉතිහාසයේ ලද ඉහළම ජයග්‍රහණය වේ. වෙළඳ ප්‍රජාව ඇතුළු දේශීය සහ විදේශීය බලවේග එක්ව “කැඩූ මීය සිතූ සේ අනුභව කිරීම” ක් නොවන්නේ ද?

    අනෙකුත් ජයග්‍රහණ මූලික ජයග්‍රහණයට සාපේක්ෂව “සිල්ලර” ජයග්‍රහණ නොවෙද? ඒවා පහත අයුරින් දක්වන්නෙමි.

    1. තාරුණ්‍ය අරගලකරුවන් හට “සැබෑ ආදරය” අරගලය හරහා ලැබී ඇත. මෑතකදී  යුවලක් ගෝල්ෆේස්  අරගල භූමියේ තම විවාහය සිදුකොට ඇත. එය අපට සිල්ලර වුවත්, ඔවුන්හට කොතරම් අගේ නොවෙද?
    2. අරගලකරුවන්හට අධිආරක්ෂක කලාපයේ ඇති ජනාධිපති මන්දිරයට යාමට ලැබීම, එහි සිතුසේ හැසිරීමට ලැබීම කෙතරම් වටීද? නාන තටාකයේ සබන් ගා නෑමට, සිතුසේ එහි කුස්සිය භාවිතාකොට රජ කෑම කෑමට, අලංකාර ගස්වැල් තලා දමමින් දැඟලීමට, කෙතරම් අගනා අවස්ථාවක් අරගලයේ තුලින් ලැබී ඇතිද? ජනතාවගේ බදු මුදලින් යැපෙන රාජ්‍ය දේපල සිතූ සේ කඩා බිඳ දැමීමට අගනා අවස්ථාවක් ලැබීම කෙතරම් අගනේද?
    3. වේලක් කෑම අසීරුව පවතින රටක, අරගලය හරහා “රසමසවුලෙන් පිරි ආහාර වේලක්” නොමිලයේ වළඳමින්, මුහුදු සුළඟින් සිරුර ඔකඳ කර ගැනීමට ලැබූ අවස්ථාව කෙතරම් වටීද?
    4. ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්‍යාලයට “පික්නික්” යාමට සහ සෙල්ෆි ගැසීමට ස්වර්ණමය අවස්ථාවක් ජනතාව වෙත තාවකාලිකව  “සුරතාන්තයක්” ලබාගැනීමට අවස්ථාවක් ලැබීම කෙතරම් වැදගත් නොවෙද? මෙවන් ස්වර්ණමය අවස්ථාවක් ලබාදුන් අරගලයටත්, අරගලය කරදරයකින් තොරව පවත්වා ගෙන යාමට ඉඩදුන් “අදූරදර්ශී ගෝඨාභය” ජනපතිතුමන්ටද අප සැවොම ස්තූතිය පුද කළ යුතු නොවෙද? වෙන රටක මර්මස්ථාන අත්පත් කර ගැනීමට ගියේ නම් රුධිර ගංගා ගලා යන අතර, උපායමාර්ගිකව පසුබැස අරගලකරුවන් හට ජය ගැනීමට ඉඩ හසර දීම කෙතරම් අගනේද?

    ලියන්න ගියහොත් එලෝ කෝටියට දේවල් ලිවීමට ඇත. අනවශ්‍ය ලෙස ලිපිය නීරස නොකොට අරගලයේ ආදීනව කතා කරමු.

    අරගලයේ ආදීනව

    නිසි අරමුණක් නොමැතිව, නිසි නායකයෙක් නොමැතිව, රාජ්‍යයේ නිසි අනුප්‍රාප්තිකයකු නොමැතිව සිදුකරන මේ “සුන්දර ගින්දර” අරගලය හේතුවෙන් මුළු රටම අරාජිකවී ඇත. මින් රට ආර්ථික සමාජයීය අගාධයකට යෑම වේගවත් වී ඇත. නිසි අනුප්‍රාප්තිකයකු නොමැති වීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කථා කරන්නේ කා සමගද? රටේ ආර්ථික තීන්දු ගන්නේ කවුරුන් විසින්ද? රටේ ස්වෛරීත්වය රකින්නේ කවුරුන් විසින්ද? අරගලය විසින් ඇති කළ ප්‍රධාන ප්‍රශ්නය මෙය වේ. අරගලයෙන් රටේ බලය තමාට ලැබේ යැයි බියෙන් උණ ගැනෙන, “වහසි බස් ගැන විශාරද” නායකත්වය සහ “විනාශකාරී විවේචනය” (Destructive critisism) පමණක් දන්නා දේශපාලන නායකත්වය රටේ පාලනය ගැනීමට තවමත් බිය දක්වති. ද්වේශය වගාකිරීම සහ අනුගාමිකයන් උසිගැන්වීම පමණක් දන්නා අදූරදර්ශී නායකත්වය සමග රටක් කෙසේ ඉදිරියට යාවිද? අරගල කරුවන් අගමැති මහින්ද රාජපක්ෂ එළවා දැමූ අවස්ථාවේදී, රට වෙනුවෙන් අගමැති ධූරයට “හිස දන්දුන්” රනිල් වික්‍රමසිංහ මහතාගේ  සිය පෞද්ගලික නිවසත් ඊනියා අරගල කරුවන්ගේ “සමත්කම්” හමුවේ ගිනිබත් ව ඇත. අරගලය ඇරඹුවේ උගත් බුද්ධිමත් සාමකාමී පුරවැසියන් වුවත්, ද්වේශ සහගත හැසිරෙන්නේ “ද්වේශ සහගත දේශපාලන ව්‍යාපාරයේ”  අනුගාමිකයන්ය. ඔවුන් උසිගැන්වීම “විනාශකාරී විවේචක” දේශපාලන නායකත්වය සහ “ද්වේශකාරී සිරසක්” ඇති මාධ්‍යය නොපිරිහෙලා ඉටුකොට ඇත.

    විශ්‍රාමික මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මැතිතුමා සමාජ මාධ්‍යයේ සටහන් කොට තිබුනේ නිවෙසක් ගිනිතැබීම, “නිවෙසක දැව ආරක්ෂක ගෑමට හෝ එක්වූ කෙනෙක් වත් සිදු නොකරන” පහත් සහ බියගුළු ක්‍රියාවක් බවය. සුන්දර අරගලයට න්‍යායාත්මකව උපදෙස් දෙන එතුමාටද එසේ පැවසීමට වීම දෛවයේ සරදමක් නොවෙද?

    ජවිපේ භීෂණය හමුවේ සැඟව සිටි පෙරටුගාමී කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කරන්නේ “අරගල කරුවන්ගේ අභිලාෂය පරිදි රට පාලනය කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් පාඩම් ඉගැන්වීමට පසුබට නොවන බවත්” ය. වසන්ත සමරසිංහයන් මේ අව් අස්සේ වෘත්තිය අරගල කිරීමට දත කයි.

    මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ අනුප්‍රාප්තිකයා වීමට යත්න දරන ඕමල්පේ සෝභිත හිමිපාණන් අරගලකරුවන් හමුවේ වගාඩම්බර පෑවේ “සිංහල බෞද්ධයන්ගේ ආණ්ඩුව ජූලි නව වෙනිදා අවසන් බවය”. සිංහල බෞද්ධයාගේ දන් වේලට වඩා උන්වහන්සේ “බුරියානි සවාන” වැළඳීමේ ප්‍රියතාවකින් එසේ වැදෑරූවේ දැයි සැකයක් පවතී.

    සිරිල් ගාමිණී පියනම සුපුරුදු “දේශයට එරෙහි ද්වේශය” අරගලකරුවන් හමුවේ මොනවට වැදෑරූහ. ශ්‍රීලංකාණ්ඩුව සිංහල බෞද්ධයාගේ පමණක් නොවන බව උන්වහන්සේලා වෙත පින්වත් දායකයින් මෛත්‍රියෙන් පහදා දිය යුතු කාලය එළඹ ඇත.

    අරගලකරුවන් “අහිම්සක ජනකොටසක්” බවත්, “රහසිම්වත් පව් නොකරන” ඒ උත්‍තමයෝ ගෙවල් ගිනි නොතියන බවත්, සොරකම් දූෂණ නොකරන බවත්, සමාජමාධ්‍යයේ දෝංකාර දෙමින් පවතී.

    ඒ උත්‍තමයෝ එසේ නොකලත්, ඒ “උත්තම අරගලකරුවන්”  ජනාධිපති මන්දිරයේ දොරගුළු කැඩීමෙන් පසුව, එයට ඇතුළුවූ “තුප්පහි අරගලකරුවන්” එය වනසා ඇත. වටිනා ස්මාරක, රාජ්‍ය නායකයින් ලබාදුන් වටිනා දේ සොරකම් කොට ඇත. නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස්ගේ ආයාචනය අනුව “තුප්පහි අරගලකරුවන්” රාජ්‍ය දේපල ආරක්ෂා කොට නැත.

    ආරක්ෂක මර්මස්ථානයක් වන ජනාධිපති මන්දිරයේ “ආරක්ෂිත කුටි ඇතුළු සංවේදී තොරතුරු” ඉන්දියාවේ රූපවාහිනී තුලින් පෙන්වීම තරම් ආදීනව මේ අරගලය හරහා සිදුවී ඇත.

    රාජ්‍ය නායකයා මෙන්ම වෙනත් රාජ්‍ය නායකයින් පැමිණෙන විටදී සිටින රාජ්‍ය නායක නිවස්නයේ ආරක්ෂාවට කෙතරම් හානියක් සිදුව ඇත්දැයි බුද්ධිමත්ව විමසා බැලිය යුතුවේ. එමෙන්ම විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්ට කැත නැතිව හමුවීමට තිබූ ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්‍යාලය විනාස කිරීම කෙතරම් අමනෝඥද?

    ඕනෑම රටක ආරක්ෂක අංශ සිය රාජ්‍යනායක නිළනිවස ආක්‍රමණයට ඉඩදී බලා නොසිටිනු ඇත. එසේ බලා සිටි සේනාධිනායකයා සිට සියළුම ආරක්ෂක බලධාරීන් මෙයට වගකිවයුතු වේ. “අරගල කරුවන් සුරතල් කරන” ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ ගැන කිනම් මතයක් මේ සඳහා දරන්නේ දැයි මම නොදනිමි. බලයට කෑදරව දේශපාලන වාසි සඳහා තම “වෘත්තියමය ගරුත්වය කෙළෙසා ගත්” එතුමාට මෙම සිද්ධියේ ගැඹුර නොතේරීම කණගාටුවට කරුණකි.

    ආනිසංස වලට වඩා අරගලයේ ආදීනවවල බර වැඩිබව බුද්ධිමත්ව විමසීමේදී තේරුම් ගත හැක. අනාගතයේ ඊනියා අරගලයේ ආදීනව අප සැමට එකසේ විඳීමට සිදුවනවා ඇත. එවිට අරගලයේ ආදි කර්තෘවරුන් මෙන්ම අරගලයේ යෙදුනවුන් සොයාගැනීම කළුනික සෙවීමක් වනු ඇත!

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.