දශක 4ක් තිස්සේ ආ ආර්ථික මාවතේ බිහිසුණුම පිපිරීම දැන් සිදුවී ඇති බවත් එය මාස 7-8න් ගොඩගැනීම කළ නොහැකි වුවද මාස 6ක් ඇතුල සමාජය යථාවත්භාවයට පත්කිරීම කළ හැකි බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එම මාස 6 තුළ ජනතාවට තෙල් ටික ලබාදීම, ගෑස් ටික ලබාදීම, ඖෂධ ටික ලබාදීම, පාසල්ටික විවෘත කිරීම, රාජ්‍ය ආයතන විවෘත කිරීම, කර්මාන්ත ශාලා වැසීමට යන්න තියෙන අනතුර වළක්වා ගැනීම, ධීවරයින්ට බෝට්ටු යන්න අවස්ථාවක් නිර්මාණය කර දීම, ගොවීන් නැවත කුඹුරට බැස්සවීම ආදිය මාස හයෙන් කළ බව ඔහු අවධාරණය කරයි.
“ඔබතුමා කියන්නේ ඒක මාස හයෙන් කරන්න බෑ කියලද, ඒ කියන්නේ මාස හයකට වැඩි කාලයක් මිනිස්සු පෝලිමේ මැරෙන්න ඕනද? ” යනුවෙන් පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා විමසා සිටියේ අගමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.
මාස 6කින් පවතින අර්බුද විසදීමට හැකිනම් අනුර කුමාර මන්ත්‍රීවරයාට අගමැතිකම බාරදීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පවසා තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,
“අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ මා විසින් කරන ලද ප්‍රකාශයකට ඔහු විටෙක විහිලුජනක ස්වභාවයෙන්ද තව විටෙක යම් ඉඟිබිඟිවලින් ද යම් උත්තරයක් ලබාදෙනු ලැබුවා. මේක අලුත් යෝජනාවක් නෙවෙයි. පහුගිය මැයි මාසයේ 11 වනදා. අපි මේ රටට ඇතිවී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවලිය කරුණු දෙකකින් සමන්විත වුනා. මේ ආණ්ඩුවත් මේ ජනාධිපතිවරයාත් ඉවත් වී අපට භාරදෙනවා නම් අප කැමති ඇමති මණ්ඩලයක් මේ 225 තුළින් හදාගෙන ආණ්ඩුවක් කරන්න අපි භාරගන්න ලෑස්තියි. ඒ නිසා කවුරුහරි කිව්වානම් අපි භාරගන්න ලෑස්ති නෑ කියලා. අපි භාරගන්න ලෑස්තියි කියල තියෙන්නේ මැයි මාසයේ 11 වෙනිදා. ගොඩාක් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තමන්ට වාසි කෑල්ල විතරයි ඇහෙන්නේ. විශේෂයෙන්ම අගමැතිවරයාට, ඔබතුමා කැමති කෑල්ල ඔබතුමාට වාසි කෑල්ල විතරක් ඔබතුමාට ඇහෙන පුරුද්දක් තියෙන බව මම කාලාන්තරයක් තිස්සේ දන්නවා. ”
“දෙවැනි යෝජනාව අපේ වුණේ ඒකට අපිට ඉඩදෙන්නේ නැත්නම් කවර හෝ කණ්ඩායමක් ආණ්ඩුවක් හදාගන්නවානම්. ඒ ආණ්ඩුව යම් නිශ්චිත වැඩසටහනක් සහ කාලරාමුවක් ඉදිරිපත් කරනවා නම්. විපක්ෂයේ ඉඳන් අපි සහාය දෙන්න ලැස්තියි. මේක තමයි අපේ යෝජනා දෙෂක් අඩංගු. ඒ මැයි මාසයේ 11 වෙනිදා. ”
“හැබැයි මැයි මාසේ 11 වෙනිදා ඒ යෝජනා සංවාදයට භාජනය වෙන්නත් කළියෙන් හිටි හැටියේ නව අග්‍රාමාත්‍යවරයෙක් හැටියට ඔබතුමා දිවුරුම් දුන්නා අග්‍රාමාත්‍යවරයෙක් හැටියට, එතකොට ඒ යෝජනාව සංවාදයට භාජනය වුණේ නෑ, අපි කියන්නේ මොකක්ද, ? අපේ රට ඉතාමත් ගැඹුරු ආර්ථික කඩාවැටීමකට මුහුණ දී තිබෙනවා. මෙය ක්ෂණිකව හෝ කෙටිකාලෙක මතුවූ අර්බුදයක් නෙවෙයි. මෙය දිගු කාලයක් අපේ රට අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියත්. ඒ ආර්ථික ප්‍රතිපත්තිය හා ගැටගැහුණු දේශපාලන සංස්කෘතියත් විසින් තමයි මේ අර්බුදය නිර්මාණය කළේ, බොහෝ අය උපුටා දක්වන්න උත්සාහ කරනවා මෙි අර්බුදයේ ආර්ථික කොටස. හැබැයි බොහෝ අය මේ අර්බුදයේ දේශපාලන කොටස සඟවන්න උත්සාහ කරනවා. අපේ රටේ බොහෝ සංවර්ධන යැයි කියන ව්‍යාපෘති සිදුවුණේ. අපි හදාගන්නා ලද ආර්ථික සංවර්ධන උපාය මාර්ගයකට නොවේ. අපි හදාගන්නා ලද ආර්ථික උපාය මාර්ගයක නම්. හම්බන්තොට වරාය කොතනද තියෙන්නේ පිරිපහදුව කොතනද තියෙන්නේ. අපි හදාගන්න ආර්ථික උපායමාර්ගයක උඩින් තියෙන්නේ පිරිපහදුව. ඒ වෙලාවේ පිරිපහදුවට යන්නේ ඩොලර් බිලියනයයි, හම්බන්තොට වරායට ඩොලර් බිලියන එකයි දශම තුනයි. එහෙනම් පිරිපහදුව යට ගිහිල්ලා වරාය උඩට එන්නේ කොහොමද, සල්ලි. කමිෂන්, දේශපාලන සංස්කෘතිය, වංචාව, ඒ නිසා මේ අර්බුදයේ ලොකු පංගුවක් තියෙනවා කොතනද. කවුරුදු මේ අර්බුදයේ හේතු දක්වන්නේ ආර්ථික සාධක හැබැයි මේ අර්බුදයේ විශාල පංගුවක් නිර්මාණය කරලා තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය. අද අපේ රටේ සිදුවී තිබෙන මහා කොන්ක්‍රීට් ඉදිකිරීම්. ඒවා අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධවුනු සංවර්ධන උපාය මාර්ගද, ඒවා ජන ජීවිතය ඉහළට ගෙනයන්න බලපෑමක් වුනාද ? කිසිවක් නෑ, පාලුවෙච්ච පාරවල් හිස් ගොඩනැගිලි, ලොකු කොන්ක්‍රීට් වනාන්තර, විශාල දිසාපති කාර්යාල. මොකක්ද මේ සිදුවී තිබෙන්නේ. මේවා අස්සේ මේ ඔක්කොම ගියේ මේ දේශපාලන සංස්කෘතිය වංචාව, දූෂණය, නාස්තිය, වරප්‍රසාද ලත් දේශපාලනය. මා යෝජනා කරන්නේ ඒ දේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න ලෑස්තියි අපිට භාරදෙනවානම්. ඒක තමයි එක. ඔයගොල්ලෝ කරනවා නම්, මොකක්ද කරන්නේ කියල මාස හයක් න්‍යාය පත්‍රයක් දෙන්න, ඒ න්‍යාය පත්‍රයෙන් පස්සේ මහ ඡන්දයකට එන්න. මම මේ අග්‍රාමාත්‍ය ධුරය භාරගත්තත්. ඔබ භාරගෙන හිටියත් රනිල් වික්‍රමසිංහ. ඔබටත් මටත් මේ පුටුවේ වාඩිවීම සඳහා ජනවරමක් නැති බව මතක තබාගන්න. අඩුම තරමෙි මට ජන වරමක් තියෙනවා පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න. ඔබතුමාට පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න ජනවරමක් තිබ්බෙත් නෑ. එහෙම කෙනෙක් අග්‍රාමත්‍යධුරයේ දින නියමයක් නැතුව, අවසන් වෙන කාලවකවානුවක් නැතුව පාලනය කිරීම යුක්තිසහගත වන්නේ කෙසේද, සාමාන්‍යයෙන් පුවත්පත්වල ලියන්නෙ ඔබ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියල. හැබැයි මම අහනවා ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට කොතැනද ඒක අනුකූලවන්නේ.”
“මම මොකක්ද මාස හයේ වැඩසටහනෙන් කියන්නේ. මම කියන්නේ නෑ මේ දශක හතරක කාලයක් ගමන් කරමින් තිබුණු මේ ආර්ථික මාවතේ බිහිසුණුම පිපිරීම මේ ආර්ථිකයේ සිදුවෙලා තියෙන්නේ. ඒ මාස හතෙන් අටෙන් ගොඩ ගැනීම විශ්වාස කරන්නේ නෑ. කවුරුවත් එහෙම විශ්වාස කළයුතුත් නෑ. හැබැයි මාස 6ක් ඇතුලත් මූලික දෙයක් තියෙනවා කරන්න.මිනිස්සුන්ට තෙල් ටික ලබාදීම, ගෑස් ටික ලබාදීම, ඖෂධ ටික ලබාදීම, පාසල්ටික විවෘත කිරීම, රාජ්‍ය ආයතන විවෘත කිරීම, කර්මාන්ත ශාලා වැසීමට යන්න තියෙන අනතුර වළක්වා ගැනීම, ධීවරයින්ට බෝට්ටු යන්න අවස්ථාවක් නිර්මාණය කරලා දීම, ගොවීන් නැවත කුඹුරට බැස්සවීම, සමාජය යථාවත්භාවයට ගේන්න. ඒක මාස හයෙන් කරන්න ඕන. ඔබතුමා කියන්නේ ඒක මාස හයෙන් කරන්න බෑ කියලද, ඒ කියන්නේ මාස හයකට වැඩි කාලයක් මිනිස්සු පෝලිමේ මැරෙන්න ඕනද. ”
“මම කිව්වා ඒ සාමාන්‍ය තත්ත්වය අපි කෙටිකාලයක් ඇතුලත ඇතිකරන්නම් අනතුරුව මාස හයෙන් පසුව මැතිවරණයකට යමු, ඇයි මම මැතිවරණයක් ඉල්ලන්නේ මොකක් නිසාද, මේ අර්බුදයෙන් ගොඩ එන්න ස්ථාවර පාලනයක් පමණක් නෙවෙයි, විශ්වසනීය ස්ථාවර පාලනයක් අවශ්‍යයි.විශ්වසනීයත්වය කඩාවැටුණු පාලනයකින් අර්බුදයට ව්සඳුම් හොයන්න බෑ.“