යාපනය ඉන්ධන පිරවුම්හලේදී පහරකෑමට ලක්වූ තරුණයෙකු මිය යාමක් සම්බන්ධයෙන් සැකපිට එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු සහ ඔහුගේ ගෝලයින් දෙදෙනක් යාපනය පොලීසිය ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉන්ධන පිිරවුම්හලේ ඉන්ධන නිකුත් කිරීමේදී අක්‍රමිකතා සිදුවන බවත් පෝලිම්වලින් පිට සිය හිතවතුන්ට ඉන්ධන ලබාදීම් සිදුවන බවත් ඉන්ධන බූලිවලට සහ බැරල්වලට පුරවා හිතවතුන්ට ලබාදෙන බවත් යාපනයේ ජනතාව චෝදනා කරති.
මෙම ඉන්ධන පිරවුම්හලේ හිමිකරුට දැඩි දේශපාලන සම්බන්ධකම් ඇති අයෙක් බවත් පාර්පිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සමීපතම ඥාතියෙක්ද බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ඉන්ධන පිරවුම්හලින් සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව නිහඩව සිටින්නේ පොම්පකරුවන්ට අමතරව මැරයින් කිහිප දෙනෙක් එහි ආරක්ෂාවට තබාගෙන සිටින නිසා බව සඳහන්ය.
ඉකුත් 19 වෙනිදා මෙම ඉන්ධන පිිරවුම්හලේ සිදුවන අක්‍රමිකතාවලට එරෙහිව කථාකළ යාපනයේ උඩුවිල්, චේපමලෙයි කෝවිලඩි ප්‍රදේශයේ පදිංචි සෙල්ව රතිනම් ප්‍රසාන් නැමැති විසිතුන් හැවරදි තරුණයා එය සිය ජංගම දුරකතනයේ වීඩියෝගත කරමින් සිටියදී ඔහුට කළමනාකරු සහ මැරයින් දෙදෙනෙක් පහරදී ඇති බව යාපනය පොලීසිය කියයි.
පහරකෑමෙන් පසු ඔහු බියට පත්ව මේ ගැන කිසිවෙකුටත් නොපවසා නිවසට වී සිට ඇති බවත් 23 වෙනිදා ඇතිවූ යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව එම තරුණයා මියගොස් ඇති බවත් පොලීසිය කියයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ යාපනය පොලීසිය ලද තොරතුරුවලට අනුව පිරවුම්හලේ කළමනාකරු සහ පහරදුන් මැරයින් දෙදෙනාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනාව අද අධිකරණයට ඉදිරිපත්කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.