fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දීය විදේශ අමාත්‍යවරයා මිලින්ද මොරගොඩ මුණගැසෙයි

    ඉන්දීය විදේශ අමාත්‍යවරයා මිලින්ද මොරගොඩ මුණගැසෙයි

    ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අතර හමුවක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අද(20)දින පැවැත්විණි.

    ශ්‍රී ලංකා ආර්ථීකය ස්ථාවර කිරීමට සහ යථා තත්ත්වයට පත් කිරීම උදෙසා වූ ඉන්දීය ආධාර වැඩපිලිවෙලේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ විය.

    මහ කොමසාරිස් මොරගොඩ මහතා, ශ්‍රී ලංකාවේ වත්මන් ස්වභාවය පිළිබඳව අමාත්‍ය ජෙයශංකර්ට මහතාට විස්තර කළ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන සඳහා ණය සැපයුම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහය අඛණ්ඩව කරගෙනයාමට ඔහුගේ විදේශ අමාත්‍යංශයේ හා ඉන්දීය රජයේ මැදිහත්වීම පිළිබඳව ඔහුට ස්තූති කළේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන ක්‍රියාත්මක වන තුරු මෙම ආධාර සැපයුම අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම සඳහා ඉවහල් වී ඇති අකාරය ද හෙතම පැහැදිලි කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනෙකුත් බහුපාර්ශ්වික ආයතන සහ ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සමග එකතු වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීම ට ඉන්දියාව ගත් තීරණය ද ඔහු අගය කළේය. සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ඇතුළුව ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට හැකි බවට අමාත්‍ය ජෙයශංකර් මහතා මෙහි දී ඉන්දීය මහ කොමසාරිස්වරයාට විශ්වාසය පළ කළේය.

    පවතින වාතාවරණය මැද දෙරට අතර සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගැනීමේ වැදගත්කම ද විදේශ අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේය.

    ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේ ක්වාත්‍රා ඇතුළු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෝ ද මෙම හමුවට සහභාගි වූහ.

    ඉන්දීය පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභා රැස්වීම විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා (18) පැවැත ඇති අතර මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර සැපැයීම පිළිබඳ ඒකමතික සහයෝගය එහි දී ප්‍රකාශ වී ඇතැයි ද මෙහිදී අනාවරණය විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.