ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා කෙටි කාලීන ණය මාලාවක් ඉන්දියානු අපනයන – ආනයන බැංකුවේ සහය යටතේ ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.
රට තුළ පවතින ආර්ථික තත්ත්වය යටතේ මෙරටට අවශ්‍ය ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන – ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය පහසුකමක් ද, ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ද ලබා ගැනීම සඳහා මේ වන විට කටයුතු කරනු ලැබ ඇත.
එසේම, දැනට පවතින විදේශ විනිමය හිඟය පියවා ගනිමින් අවශ්‍ය ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියානු අපනයන – ආනයන බැංකුවේ සහාය යටතේ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය මාලාවක් ලබා ගැනීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඊයේ පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.