fbpx
තවත්
    මුල් පිටුවspecialයුධ ජයග්‍රහණය සහ රැල්ල

    යුධ ජයග්‍රහණය සහ රැල්ල

    ඉන්දියාවේ හින්දු පුවත්පත පසුගිය 13 වැනිදා වාර්තා කර තිබුණේ අද (18) දිනයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයේ ප්‍රහාරයක් මෙරට එල්ල වීමට ඉඩ ඇති බවයි.

    මෙරට ආරක්ෂක අමාත්‍යාංශය ද එම පුවත ගැන නිවේදනයක් නිකුත් කරමින් ඊට අදාළව ඉන්දියානු බුද්ධි අංශ මගින් තොරතුරු ලබාගත් බවත්, එය සාමාන්‍ය තොරතුරක් බවත් නිවේදනය කළේය.

    මීට වසර 13කට පෙර මෙවැනි පුවතක් වුවද මහ ඉහළින් භාරගත් මෙරට ජනතාව අද මෙවැනි හෙළිදරව්වක් තුට්ටුවට මායිම් කළේ නැත. මේක බොරුවක්ද ? ගොතපු එකක් ද ? ආයෙත් කොටි නැගිටිනවා කියාගෙන දේශපාලන ඇම්බැට්ටයින් ටිකක් නැගිටින්න හදනවා දැයි බොහෝ දෙනෙක් විමසිලිමත් වූහ.

    ජනතාව එවැනි ප්‍රශ්න විචාලීමේ පුදුමයක් නැත. ජාතික ආරක්ෂාව කොතරම් වැදගත් වුවද ජනතාවට පසුගිය කාලයේ රජය විසින් දී ඇති ප්‍රතිචාරයට එවැනි ප්‍රතිචාර එල්ලවීමේ පුදුමයක් නැත. කබලෙන් ලිපට වැටුණු ජනතාවකගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකිය.

    තිස්තුන් අවුරුද්දක යුද්ධය හමාර කරන්නට බඩේ පටි තදකරගන්නැයි කී විට ජනතාව එය ද කළේය. එදා යුද්ධය නිමා වූ විට රට සංවර්ධනය වී අපේ දරු පැටව්ගේ අනාගතය සුකිත මුදිතවීම කෙසේ වෙතත් නිදහසේ කා බී ජීවත්විය හැකි රටක්වත් ඉතිරිවනු ඇතැයි ඔවුහු කල්පනා කළහ.

    ඒ සිහින බිඳ දැමුවෝ නම් වෙන කවරකුවත් නොව රට කරවූ දේශපාලකයෝය. මල්ටි බැරල්වල වියදම, ටී.56 උණ්ඩයේ වියදම, යුද වියදම ඉහළට ගිය කලෙකත් නොවූ විරූ තැනකට රට තල්ලුකිරීමේ පාපයෙන් මිදීමට නම් ඔවුන්ට කිසි කලෙක නොහැකිවනු ඇත.

    බිත්තියටම හේත්තු වූ ජනතාව දැන් දේශපාලඥයන් බිත්තියට හේත්තු කිරීමට පටන්ගෙන ඇත්තේ ඒ නිසාය. එහෙත් රැල්ල කැරැල්ලක් කොට අහිංසක ජනතාව පිටින්ම ඒ බර තබා ජනතාවට වැල්ලේ මාලිගා හදන්නට තවත් පොරොන්දු දිය හැකි මට්ටමක මෙරට දේශපාලඥයන් සිටී ද යන්න උගහටය.

    ඒ කෙසේ වෙතත් අතීතයේ පාඩම් ඉගෙන නොගත්තෝ, මෙවන් විපතක දී වත් පාඩම් ඉගෙන ගනීයැයි කිසිසේත් අනුමාන කළ නොහැකිය. ගෙවී ගිය පාලන කාල දෙක ගත්විට ද ජනතාවට ඒ ගැන තේරුම් ගැනීමට ඕනෑ තරම් උදාහරණ තිබේ. යලි යලිත් විශ්වාසය තැබිය යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වුවද ඒ රාමුවේ සිටින බොහෝ දේශපාලඥයෝ සට කපට වෘක්කයෝය.

    ඒ නිසා ජනතාව විසින්ම ජනතාවගේ හිත ශක්තිමත් කොට නැගී සිටීමේ ශක්තිය රටක ඉදිරි දිශානතිය තීන්දු කරනවාට සැක නැත. ගොවි බිම, වැඩ බිම ශක්තිමත් කිරීම තුළින් එක් ජාතියක නැගී සිටීමට කිසිවෙකුගේත් නොව ජනතාව ජනතාවගේ දෑත ශක්තිමත් කළ යුතු කාලය එළැඹ තිබේ.

    මැයි 18 හා මැයි 19

    මර බියෙන් ගෙවී ගිය තිස්තුන් වසරක් සාපය මෙරටින් නිමා වූයේ මැයි 18 වැනිදාය. කොටි ත්‍රස්තවාදීන්ට අයත්ව තිබු නන්දිකඩාල් අවසන් බිම් කඩත් හමුදාව පාලනයට නතු වූයේ මැයි 18 නිසා බොහෝ දෙනෙක් විජයග්‍රහණයේ සැමරුම මැයි 18 වැනිදාට සමරති.

    එසේ වුවද ප්‍රභාකරන්ගේ මරණය එදා අතිශය තීරණාත්මක සාධකයකි. මළ සිරුර හමුවන තුරු යුද්ධය නිමා වූවායැයි ප්‍රකාශ කිරීම කොතරම් සාධනීයදැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කළහ.

    රජයේ සන්නද්ධ හමුදාවන්හි මතය වූයේ ද ප්‍රභාකරන්ගේ මරණයෙන් මිස යුද්ධය නිමා නොවන බවයි. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය මැයි 18 වැනිදා රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් බව නිවේදනය කළා වුවද, එතැන් සිට ගෙවී ගියේ අතිශය තීරණාත්මක හෝරා කිහිපයකි.

    අවසන් පැය 24 ලිපියෙන් ඒ පිළිබඳ තොරතුරු විමසා බැලිය හැකිය.

    සම්පුර්ණ කතාව කියවන්න

    ප්‍රභාකරන්ගේ අවසන් හෝරාව

    හෙට දවසේ ජාතික ආරක්ෂාව

    රට හමුවේ පවතින ආර්ථික අභියෝගයට නොදැවිණි අභියෝගයක් ඇත්නම් ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බුදයයි. ජාතික ආර්ථිකය බිංදුවෙන් පටන්ගෙන නගා සිටිවීම මෙන්ම ජාතික ආරක්ෂාව බිංදුවෙන් පටන්ගෙන නගා සිටුවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

    සීසෝවේ දෙපැත්ත මෙන් ආර්ථිකයත් ජාතික ආරක්ෂාවත් එකම මට්ටමෙන් යා යුතුය. ඉන් එකක් හෝ නොමැති රටක යහ පවැත්මක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ නිසා විරෝධතා, අරගල, කැරලි හමුවේ වුවද ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය වෙනතකට යොමු වීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේ වගකීමකි. ඒ නිසා ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සිටින නිලධාරීන්ට ඒ අවශ්‍ය ශක්තිය ලබා දිය යුතුය.

    බුද්ධි අංශ ක්‍රියාදාමය මෙහි දී අතිශය තීරණාත්මකය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නොවිසිඳුණු කරුණු හේතුවෙන් මවා ඇති බියකරු බිල්ලාගෙන් රට මුදා ගැනීමට බලධාරීන් මැදිහත්විය යුතුය. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මහජන නියෝජිතයන් ඔස්සේ හෝ වැරදි තොරතුරු ගලා යෑම නැවැත්විය යුතුය. සැබෑ තොරතුරුවලින් ජනතාව දැනුවත් කිරීමෙන් බොහෝ ව්‍යවසනයන් කල්තියා වළක්වා ගත හැකිය.

    මෙවැනි ආර්ථිකමය අර්බුදකාරී වාතාවරණයක් රටක බුද්ධි අංශ ක්‍රියාදාමය පරීක්ෂාවට ලක්කරනවාට සැක නැත. රාජතාන්ත්‍රික මට්ටමෙන්ද නොනිල වශයෙන් ද බොහෝ බුද්ධි අංශ සංඛ්‍යාවක් රට තුළ සිට ක්‍රියාත්මක වීමට පටන් ගැනීම සුළුවෙන් තැකිය නොහැකිය. අර්බුදය ඔවුන්ට රටට පැමිණීමට මාර්ගය විවර කළ අතර, දැන් ඔවුන් ඔවුන්ගේ න්‍යාය පත්‍ර රට තුළ ක්‍රියාත්මක කිරීමට විවිධ අවස්ථා නිර්මාණය කරනවා විය යුතුය.

    ඉන්දියානු රෝ ඔත්තු සේවය මෙරට ඔත්තු බැලීමේ කාර්යයේ නියැලීම අහම්බයක් නොවුනද දැන් දැන් ඔබ නොසිතන මට්ටමේ කුඩා රටවල් පවා මෙරට බුද්ධි අංශ ක්‍රියාදාමයන්ට යොමුවෙමින් සිටින බවට පසුගිය කාලය පුරා රාවයක් පැතිරිණි.

    මේ සියලු දෙනා අප රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවට ඔවුන්ගේ රටවල් හා බැඳි බුද්ධි ක්‍රියාදාමයන්ට සම්බන්ධවන බවට සැක නැත. ඒ නිසා බුද්ධි අංශ ආරක්ෂාව මෙන්ම ත්‍රස්තවාදීන්ට රට තුළට රිංගීමට ඇති අවස්ථා අහුරා දැමීම මේ මොහොතේ කළ යුතු වැදගත්ම කාර්යයකි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.