නීති විරෝධි මුදල් හුවමාරු ක්‍රමයක් වන උණ්ඩියල් ක්‍රමයට විදේශ මුදල් හුවමාරු කිරීමේ ඡාවාරම්කරුවන් පසු පස පොලිස් විශේෂ කාර්ය බලකාය පැන්නීමට පටන් ගෙන තිබේ.
උණ්ඩියල් ක්‍රමයට විදේශ මුදල් හුවමාරුව මේ වන විට මෙරට ඉතා බහුල ලෙස සිදුවෙමින් පවතී. මේ වන විට පවතින විදේශ විනිමය ගැටළුවටද එය ඉවහල්වී තිබෙන බව මහ බැංකුව හදුනාගෙන තිබේ.
ඒ අනුව විශේෂ කාර්ය බලකාය උණ්ඩියල් මුදල් ඡාවාරමට සම්බන්ද පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙන බව විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා සඳහන් කළේය.
ඒ් අනුව ඉකුත් 14 වෙනිදා විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංශයේ නිලධාරීන් බොරලැස්ගමුවේ කළ වැටලීමකින් අමෙරිකානු ඩොලර් 47,000ක් සැකකරුවන් දෙදෙනෙක් සමඟ අත්අඩංගුවට ගනු ලැබීය. එම මුදල්වල මෙරට වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයකට අධිකය.
එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 සහ 51 වන වියේ පසුවන්නන්ය. ඔවුන් බොරලැස්ගමුවේ පදිංචිකරුවන්ය.
මේ අතර ඊයේද පැපිලියාන ප්‍රදේශයේ කළ වැටලීම් වලින් යුරෝ පනස්දහසක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම මුදල්වල මෙරට වටිනාකම් රුපියල් කෝටි දෙකකට ආසන්නය.
අත්අඩංගුවටගත් මෙම සැකකරු 53 වන වියේ පසුවන්නෙකි. ඔහු පුංචි බොරැල්ලේ පදිංචිකරුවෙක් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
සැකකරුවන් මුදල්ද සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොාට්ඨාශය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාර දී තිබේ.