යම් නුවණැති අයෙකු, තමා නිසා හෝ අනුන් නිසා හෝ පවක් නොකරයිද, වැරදි පිළිවෙළකින් පුතකු හෝ ධනය හෝ රටක් හෝ නොපතයිද අධර්මයෙන් තමාගේ වැඩි දියුණුවක් බලාපොරොත්තු නොවෙයිද ඔහු ශ්‍රේෂ්ඨ යැයි බුදු දහමේ සඳහන් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙසක් පොහොය යෙදෙන අද දිනයේදී ජනතාවට පණිවුඩයක් නිකුත් කරමින් සිහිපත් කරයි.
විපක්ෂනායකවරයාගේ වෙසක් දින පණිවුඩය පහත දැක්වේ.
“සකල ලෝකවාසී බෞද්ධයාගේ සුවිශේෂී ආගමික දිනය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
විශ්වයේ පවත්නා පරම සත්‍යය නුවණින් දැක බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය දිනෙන් දින සනාථ කරන්නේ උන් වහන්සේගේ ධර්මයෙහි සර්වකාලීන බවයි.
උන්වහන්සේ දේශනා කළ සුවාසූදහසක් ධර්මස්කන්ධයෙහි සියලුම කොටස් ගම්‍ය කරන්නේ පරම සත්‍ය යි.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉහත දීපංකර බුදුන්වහන්සේ සමයේදී එළඹි වෙසක් දිනයක, මතු බුදුවන බවට නියත විවරණ ලබා වෙසක් පුන් පොහෝ දිනයක මෙලොව එළිය දුටු බෝසතානන් වහන්සේ, වෙසක් දිනයකම ලොව්තුරා බුද්ධත්වයට පත්වූ සේක.
බුදු බව ලබා 45 වසරක් ලෝ වැසි ජනතාව සසර දුකින් මුදවාලීම සඳහා අපමණ වෙහෙසක් දරා අවසානයේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පසක් කරමින් වෙසක් පොහෝ දිනකම පිරිනිවන් පා වදාළ සේක.
එබැවින් එම උතුම් පොහෝ දිනය ශාසනික වශයෙනුත්, ඓතිහාසික වශයෙනුත් අතිශයින්ම වැදගත්ය.
බෞද්ධයන් තෙමඟුල සැමරෙන වෙසක් පොහෝ දිනයේදී අතීතයේ සිට ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වන අතර ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වයි.
බලලෝභීත්වය, අවස්ථාවාදීත්වය, ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය තුළින් ලෝකය අසිරිමත් කිරීමේ පණිවිඩය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රායෝගිකවම ලොවට හෙළි කළ සේක.
ජාති, ආගම්, කුල වැනි සියලු බෙදීම් අර්ථ ශුන්‍ය යැයි දේශනා කළ බුදුරජාණන් වහන්සේ, උස් පහත් බව මිනිය හැකි වන්නේ පුද්ගලයා ජීවත්වන ආකාරය අනුව යැයි දේශනා කළහ.
උන් වහන්සේ විසින් අනුදැන වදාළ සුවිශේෂී දහම් කරුණු වර්තමාන ජීවිතවලට ප්‍රායෝගිකවම යොදාගත හැකි බව සත්‍යයයි.
යම් නුවණැති අයෙකු, තමා නිසා හෝ අනුන් නිසා හෝ පවක් නොකරයිද, වැරදි පිළිවෙළකින් පුතකු හෝ ධනය හෝ රටක් හෝ නොපතයිද අධර්මයෙන් තමාගේ වැඩි දියුණුවක් බලාපොරොත්තු නොවෙයිද ඔහු ශ්‍රේෂ්ඨ යැයි බුදු දහමේ සඳහන් වෙයි.
‘ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ඇතැයි’ යන උතුම් බුදු වදනට අනුගතව ‘නොපමාව කුසල් රැස් කිරීම’මේ උතුම් තෙමඟුල් දිනයෙහි සියලු හදවත් තුළ තිරසාරව සනිටුහන් කරගැනීම ඉතා වැදගත්ය.”