fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මෑත දී බරපතළම මෝඩ වැඩේ කළේ වත්මන් ආණ්ඩුවයි"

    “මෑත දී බරපතළම මෝඩ වැඩේ කළේ වත්මන් ආණ්ඩුවයි”

    කොළඹ ගාලු මුවදොර පිටියේ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ ජනතාවට මැර ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබලදීමෙන් වත්මන් රජය මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් කරගත් ඉතා බරපතල, අමනෝඥ ක්‍රියාවක් කරගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    මෙම ප්‍රහාරය නිසා ඇතිවූ තත්වය තුළ අගමැතිවරයාට මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් ඉක්මනින්ම තනතුරින් ඉවත්වීමේ තත්වය ඇතිවනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

    මෙම ප්‍රහාරය රජයක් විසින් නොකළ යුතු ක්‍රියාවක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ආණ්ඩුවේ මෙහෙයවීම තුළ අහිංසක ජනතාවට එල්ල කළ ප්‍රහාරය තුච්ඡ ක්‍රියාවත් බව එය පිළිකුල්සහගතව හෙළා දකින බව ද සඳහන් කළේය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ගාලු මුවදොර පිටියේ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරතව සිටි ජනතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

    පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසුවේ අපරාධ නීතිය අනුව අපරාධයකට හවුල්වීම මෙන්ම අනුබල හා ආධාර දීමත් වරදක් නිසා එයට අනුබල හා ආධාර දුන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බවයි.

    එසේ කිරීමෙන් තොරව ජනතාව සන්සුන් හා සාමකාමී කිරීමට ආණ්ඩුවට නොහැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ ජනතාවට මැරයන් පහරදෙන තුරු පොලීසිය කිසිවක් නොකර බලා සිටීමත්, මැර පිරිස ගාලු මුවදොර දක්වා පැමිණෙද්දී නතර කිරීමට පොලීසිය කටයුතු නොකිරීම මෙන්ම හදිසි නීතිය දැමුවේ මහජන ආරක්ෂාව සඳහා නම් සාමකාමී විරෝධතාවයේ යෙදී සිටි ජනතාවගේ ආරක්ෂාව සඳහා ආරක්‍ෂක හමුදා කැඳවීමට කටයුතු නොකිරීම ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී පැවසුවේ මෙම සිද්ධිය ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් බවත්, එහි වගකීම භාරගෙන ජනාඡිපතිවරයාථ අගමැතිවරයා ඇතුළු රජයේ සියලු දෙනා ඉවත්විය යුතු බවත්ය.

    ඔවුන් නීතිය ඉදිරියේ වරදක් කර ඇතැයි ද හෙතෙම පැවසීය. ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.