තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුෂ්කරතාවයේදී අතදෙන්න කලාපයේ 'පළමු ප්‍රතිචාරකයාගේ' සහය දිගටම

    දුෂ්කරතාවයේදී අතදෙන්න කලාපයේ ‘පළමු ප්‍රතිචාරකයාගේ’ සහය දිගටම

    ඉන්දියාව විසින් ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයුම් විශාල තොගයක් මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වෙත පසුගිය දා (29) කොළඹ දී භාරදෙන ලදී.

    ඉන්දීය නාවික හමුදාවේ ඝාරියල් නෞකාව විසින් භාර දෙන ලද මෙම වෛද්‍ය සැපයුම් තොගය පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ භාවිතය උදෙසා ලබා දී ඇත.

    මෙම වෛද්‍ය සැපයුම් තොගය කඩිනමින් භාර දීම සඳහා ඉන්දීය නාවික හමුදා නෞකාවක් යෙදවීම තුළින් පිළිඹිබු වන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඉන්දියානු රජය විසින් ලබා දෙන වැදගත්කම යි.

    සී ෂෙල්ස් වෙත ප්‍රවාහනය කරන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද Wave Rider බෝට්ටුවක් ද INS ඝාරියල් නෞකාව තුළ විය.

    මෙය සැබවින්ම දෙරට අතර පවතින සමීප බැඳීම් සහ ඉන්දියානු සාගර කලාපයට අදාළ කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමේදී දෙරට හමුදාවන් අතර පවතින සම්බන්ධීකරණය පෙන්නුම් කරයි.

    මෙයට අමතරව මාලදිවයින වෙත භාර දීමට නියමිත ගිලන් රථ දෙකක් ද ⁣INS ඝාරියල් නෞකාව තුළ තිබිණ. ඉන්දියානු සාගර කලාපයේ සහකාර රටවල් ත්‍රිත්වයේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා INS ඝාරියල් නෞකාව යෙදවීම තුළින් කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (Security And Growth for All in the Region – SAGAR) යන ඉන්දියාවේ ප්‍රතිපත්තිය අර්ථවත් වේ.

    කලාපයේ සහකාර රටවල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සෘජුවම මෙන්ම වෙනත් රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට ඉන්දියාව දක්වන කැපවීම ද මේ තුළින් නිරූපණය වේ.

    ඉන්දියාව ඉන්දියානු සාගර කලාපයේ ‘පළමු ප්‍රතිචාරකයා’ වශයෙන් සැලකේ.

    2020 සහ 2021 වසරවලදී සිදු වූ MT නිව් ඩයමන්ඩ් සහ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන් හි හටගත් ගිනි ගැනීම්වලදී ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය ක්ෂණිකව අවශ්‍ය සහය ලබා දීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට සිදු විය හැකිව තිබූ හානිය වැළැක්වීමට උපකාරී විය.

    2017 මැයි මාසයේදී හටගත් දරුණු ගංවතුර තත්ත්වයේ දී ද ඉන්දීය නාවික හමුදාව මුදවාගැනීමේ සහ සහන මෙහෙයුම්වලට සම්බන්ධ විය. එසේම 2021 අගෝස්තු මාසයේදී කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා ඉන්දීය නාවික හමුදාව විසින් ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් ලබා දෙන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img