fbpx
තවත්
    මුල් පිටුවspecialගෝඨ‍ාගෝගමේ පුස්තකාලයට ගොඩවැදුනෙමි

    ගෝඨ‍ාගෝගමේ පුස්තකාලයට ගොඩවැදුනෙමි

    සටහන – නුවන් සේනාරත්න
    ඡායාරූප – රන්මිණි ගුණසේකර

    ගොඨගෝ ගමට යන ඕනෑම කෙනෙක්ට දකින්න ලැබෙන දර්ශනයක් තමයි කූඩාරමක් යට පොත් කියවන තරුණ තරුණියන්.

    ඇත්තටම මේ තැන මොකක්ද? අරගල භූමියකට ඒ වගේ තැනක් අවශ්‍යද? අරගල භූමියක් කියන්නේ කෑ කෝ ගහන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරන තැනක් නෙවෙයි ද? ඉතින් මේ ගැන ඇත්ත නැත්ත හොයල බලන්න මමත් මේ කූඩාරමට ගොඩවෙන්න තීරණය කළෙමි.

    ඇතුළු වෙනවත් සමඟම දැක ගන්නට ලැබුණේ පුස්තකාලයක් බවට හැඟවෙන පුවරුවකුයි. ඒ වගේම කූඩාරමට ඇතුල් වෙද්දිම මම දුටුවේ අමුතුම දර්ශනයක්. ඇත්තටම තැන තැන ඉඳගෙන පොත් කියවන තරුණ තරුණියන්ගෙන් කූඩාරම පිරී තිබුණි. අරගල භූමියක් වුණත් එහි වූයේ අමුතුම නිහැඬියාවක්. නමුත් ඒ නිහැඬියවට ගැඹුරක් වගේ ලොකු අර්ථයක් තිබූ බව මට දැණුනි.

    වටපිට විපරම් කරපු මා හට දැකගන්නට ලැබුණේ තරුණයින් මෙන්ම දරුවන්ද ඉතාමත් උනන්දුවෙන් පොත් කියවන ආකාරයයි. ඇත්තටම එහි වුයේ මින් පෙර පුස්තකාලයක අත්විඳි පරිසරයමයි. නමුත් එහි වූ එකම වෙනස වූයේ එය අරගල භූමියක පිහිටා තිබීමයි.

    ඒ අනුව මා එහි  මදක් රැදී සිටීමට තීරණය කළා. ඒ කූඩාරෙමේ සත්‍යවශයෙන්ම සිදු වෙන්නේ කුමක්දැයි දැක ගැනීමටයි. ඒ අනුව මාගේ ඇස්පනාපිටම මහළු වියේ පසුවන යුවලක් පොත් රාශ්‍රියක් කූඩාරම වෙත භාරදෙනු ලැබීය.

    හෙමිහිට ඒ වෙත ලංවී විපරම් කරන විට දැනගැනීමට හැකිවූයේ ඉන් පොත් බොහොමයක් මෙරටදී සොයා ගැනීමට පවා අසීරු පොත් බවයි.

    එසේම තවත් මැදිවියේ පසුවන්නෙකු එහි තිබූ පොත් එකිනෙක පිළිවෙලකට අසුරන්න අයුරු දැකගැනීමට හැකිවිය. එහිදී ඔහු පවසා සිටියේ “ආයේ කවදා එන්න වෙයිද දන්නේ නැහැ. ඒත් ආපු එකේ පොත් ටික පිළිවෙලකට හදලාම යනවා.” යනුවෙනුයි.

    මේත් සමඟම අසල සිටි දරුවන් එහි වූ පැදුරු මතට වී චිත්‍ර අදිමින් පොත් කියවමින් සිටි අතර තවත් වැඩිහිටියන් දරුවන්ට කතාන්දර කියා දෙමින් සිටින අයුරු සිතට මහා සැනසුමක් ගෙන ඒමට සමත්විය.

    මෙලෙස ඔබමොබ යමින් සිටි මා හට ‘මල්ලි තේ එකක් බොමුදැ’යි එක් සොයුරියක් විමසුවාය. ඇය මා මීට පෙර කෙදිනකවක් දැන සිටි තැනැත්තියක් නොවුනද මාහට තම සොයුරාට දක්වන සෙනෙහසින් ආමන්ත්‍රණය කරන අයුරු දැණිනි.

    කේ. ඒකනායක වන ඇය සමඟ කතා බහක නිතරවූ මාහට දැන ගැනීමට හැකිවූයේ ඇය මාතර සිට පැමිණ ඇති බවත් දින ගණනාවක සිටි ගෝඨාගෝගමේම සිටින බවත්ය.

    තේ කොප්පයේ රස විදින ගමන් ඇය මාවෙත පවසා සිටියේ පුස්තකාලය තුල ඇය සහ අනෙක් ස්වෙච්ඡා සාමාජිකයින් ගතකරන අපූරු ජීවිතය ගැනයි.

    කිසිදු උස්පහත් භේදයකින් තොරව සියලු‍ දෙනාම සොයුරු සොයුරියන් මෙන් එහි ගතකරන ආකාරය මට අපූර්ව අත්දැකීමක් ගෙනදුන්නේය. මේ සමඟ මෙම පුස්තකාලයේ ආරම්භය පිළිබඳ  දැන ගැනීමට මා ඒ ගැන විමසා සිටි අතර එහිදී ඒකනායක සොයුරිය මා නීලනුවන් වෙත යොමු කළාය.

    ඒ වන විටත් පුස්තකාලය සම්බන්ධයෙන්ම වූ වෙනත් රාජකාරියක නිතරව සිටි ඔහු එහි පැමිණෙන තෙක් මා එහිම ගතකිරීමට තීරණය කළෙමි. එහිදී පොත් එකිනෙක පීරමින් සිටි මා වෙනම ලෝකයට ගෙනයාමට පොත් සමත්විය.

    මද වේලාවක් ගතවීමෙන් අනතුරුව නුවන් එහි පැමිණි අතර මා සමඟ කතාබහකට එක්වීමට ඔහු කිසිඳු පැකිලීමකින් තොරව එකඟවීය. මෙහිදී මා විසින් අපි කාගෙත් පොදු ප්‍රශ්නය වූ ඇයි අරගල භූමියකට පුස්තකාලයක් අවශ්‍ය බව ඔහුගෙන් විමසා සිටියෙමි.

    එයට නුවන් සතුව සෘජු පිළිතුරක් විය. ඔහු එහිදී පෙන්වා දුන්නේ මෙතෙක් පැවති මෙරට පැවති දිශානතිය වෙනස් කිරීමටත් අරගලවලටත් නව මුහුණවරක් ලබාදීම මෙහි මූලික අරමුණ වූ බවයි.

    “මෙරට වසර හැත්තෑවක ඉතිහාසයේ අරගල කියන අකුරු හතරට දීලා තිබ්බේ හරිම ප්‍රචණ්ඩකාරී අර්ථයක්. අපි මෙහිදී අරගල කියන වචනයේ තේරුමට ප්‍රචණ්ඩත්වය වෙනුවට ආදරය කියන අර්ථය ගෙන එන්න තීරණය කළා. ඒ වගේම පොත්වලට ආදරය කරන අය විදිහට අපි විශ්වාස කරනවා කියවීම තමයි ලොව තියෙන ප්‍රබලතම අවිය කියා.

    ඉතින් අපි මෙහිදී කරන්නේ ඊළඟ පරම්පරාවට අරගලය සඳහා දැනුමින් සන්නද්ධ කිරීමයි. අනිත් කාරණය තමයි පොත් බෙදාගන්නවා කියන්නේ ආදරය බෙදා ගැනීමට සමාන දෙයක්. අපි මෙතන කරන්නේ ජනතාව අතරේ ආදරය බෙදා හැරීමයි.” යනුවෙන් නුවන් මෙහි අරමුණ පැහැදිලි කළේය.

    ඉන් අනතුරුව මෙම පුස්තකාලයේ ආරම්භ පිළිබඳවද ඔහු එහිදී සිහිපත් කළේය. අප්‍රේල් 12වැනිදා ඔහු ඇතුළු පොත්වලට ඇලුම්කරන මිතුරන් පස්දෙනෙකු එක්ව තමන් සතු පොත්වලින් මේ දක්වා වූ අර්ථවත් ගමනක් පැමිණ තිබේ.

    නුවන් පවසන අන්දමට මෙලෙස එකතු කළ පොත් කිහිපයේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ඉන් සුළු මොහොතකට පසු ඊට විශාල ප්‍රතිචාරයක් ලැබී තිබිණි. ඒ අනුව විශාල පිරිසක් පොත් ප්‍රධානය කිරීමට පැමිණ ඇති අතර පසුව පොත් රාක්කයක්ද ලැබිණි, එතැනින් ආරම්භ වූ ගමන මේතාක් පැමිණීමට සමත්ව තිබේ.

    මෙලෙස කුඩා කූඩාරමක ආරම්භ වූ පුස්තකාලය වරක දැඩි වැස්සේ බලපෑමට ලක්වුවද එහි සිටි බොහෝදෙනාගේ දැඩි ප්‍රයත්නය යටතේ එය ආරක්ෂා කරගැනීමට සමත්විය. පසුව විශාල කූඩාරමක පුස්තකාලය ස්ථාපිත කිරීමට හැකියාව ලැබී තිබේ.

    මෙහිදී සිය අද්දැකීම් තවදුරටත් විස්තර කරමින් නුවන් කියා සිටියේ “අපිට අවශ්‍ය කරලා තිබුනේ හදවතින් නොව ඔළුවෙන් තීරණ ගන්න පරම්පරාවක් නිර්මාණය කිරීමයි. ඒනිසා අපි අරගලය ඇතුලට පුස්තකාලයක් ගෙනාවා. ඒ අනුව අපි දැන් අරගල කරමින් ඉගෙන ගන්නවා, ඉගෙන ගනිමින් අරගල කරනවා. මෙතන පුස්තකාලාධිපති කියලා කෙනෙක් නැහැ. මෙතන ඉන්නේ ස්වෙච්ඡාවෙන් කටයුතු කරන අය විතරයි. මම මෙතන වයසින් වැඩි කෙනෙක් නිසා මෙතන ඉන්න බාල අයට පොඩි මඟපෙන්වීමක් විතරක් කරනවා. මෙතන පාලනය කිරීමක් හෝ කොන්දේසියක් නැහැ. කොටින්ම කියනවා නම් මේ පුස්තකාලයට අයිතිකාරයෙක් නැහැ. මේක පොදුවේ මිනිස්සුන්ට අයිති දෙයක්.” යනුවෙනි.

    ගෝඨාගෝගමට ඇතුළු වන ඕනෑම අයෙකුට පුස්තකාලයට පැමිණීමට හැකියාව ඇති අතර එහි ඇති තවත් විශේෂත්වයක් වූයේ ඕනෑම අයෙකුට පොතක් කියවීමටත් භාරදීමටත් හැකිය. එහිදී පොත් භාරදීමට නිසි බලධාරියෙකු නොමැති අතර තමන්ට අවශ්‍ය පොත එහි වූ මේසක් මත තබා යන අයුරු මා සියැසින්ම දුටුවෙමි.

    මෙහිදී මා දුටු තවත් සුවිශේෂිත්වයක් වන්නේ ගෝඨාගෝගමට පා තැබූ පසු කිසිවෙකුගේ පිටත ලෝකයේ දරණ තනතුරු ගරුනාම කිසිවක් ගම තුලදී අදාල කර නොගැනීමයි. එහිදී ඔහු හෝ ඇය තවත් එක් තැනැත්තෙකු හෝ තැනැත්තියකු වන අතර එහි සිටින සියලුදෙනා එකහා සමාන ය. එහිදී ලොකු පොඩි කිසිවෙකු නොවූ අතර සියලුදෙනාට එකව සැලකීමට පුරුදුව සිටින අයුරු අපූරු අත්දැකීමක්විය.

    මේ අතර ගෝඨාගෝගමේ පුස්තකාලය සුවිශේෂීවන තවත් කරුණක් ඇත. එනම් එහි පැමිණෙන ඕනෑම අයෙකුට පොතක් රැගෙන යා හැකි අතර එය තමන්ට හැකි වේලාවක යලි භාරදීමට හැකියාව පවතී. එහෙත් කවරෙකුට හෝ එය යලි භාරදීමට පැමිණීමට නොහැකි නම් එය ලඟම ඇති පුස්තකාලයට භාරදීමට හැකිය. මෙයද නීතියක් නොවන අතර එය හුදෙක් ඉල්ලීමක්ම පමණි.

    එසේම මෙහි පොත් පරිශීලනය කරනු ලබන පිරිස පිළිබඳවද මම විමසා සිටියෙමි. එහිදී නුවන් පෙන්වා දුන්නේ “ අපි විශ්වාස කරනවා තරුණ කට්ටිය කියවන්නේ නැහැ කියලා. ඒත් මෙතනට ආවාම පේනවා තරුණ පිරිස පොත් කියනව බව. ඇත්තටම තරුණ අය කිවන්නේ නැහැ කියන ඒක අපි හදාගත්ත දෙයක්. අපි කියනවා 2000න් පසු පරම්පරාව කියනවන එක අඩුයි කියලා. ඒත් ඒක ලේබල් කිරීමක්. ඒකෙන් වෙන්නේ එයාලාව කොන්කරන එකයි. එයාලට නිසි මඟ පෙන්වීමක් තියෙනවානම් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ මඟපෙන්වීම නැතිවෙනවා කියන්නේ ඒක අපේ පරම්පරාව ඊළඟ පරම්පරාව කරන බරපතල වැරැද්දක්.” යනුවෙන් පැවසීය.

    කූඩාරමක පොත් කිහිපයකින් ඇරඹි මෙම පුස්තකාලයට අදවන විට පොත් දෙලොස් දහසක් පමණ ලැබී තිබේ. ඉන් ඇතමෙක් වෙනත් නගරවල දැනට ස්ථාපිත කර ඇති මෙවැනිම ස්ථානවල පුස්තකාල බිහිකිරීමට යොමුකර ඇති අතර තවත් පොත් පුස්තකාල වෙත ලබාදීමටත් පියවරගෙන තිබේ.

    ඒ අනුව මේවන විට මෙරට ඉතිහාසයේ දිශානතිය මෙන්ම අරගලයට මෙතෙක් නොපැවති අරමුණක් දීමට මෙම පුස්තකාලය සමත්ව ඇත. එබැවින් එය සියැසින් දැක පොතක් පරිශිලනය කර එසේ නොමැති නම් තමන් සතු පොතක් එහි ගෙනැවිත් භාරදී මෙම නව පරපුරේ ප්‍රයත්නයට දායක වෙන මෙන් මෙන් ඔබ සියලුදෙනාට ආරාධනා කරමි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.