fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසරේ හොඳම බහුකාර්ය වරාය ලෙස හම්බන්තොට වරාය අභිෂේක ලබයි

    වසරේ හොඳම බහුකාර්ය වරාය ලෙස හම්බන්තොට වරාය අභිෂේක ලබයි

    ග්ලෝබල් පොර්ට් ෆෝරම් (GPF) සම්මාන උළෙලේදී 2021 වසරේ හොඳම “බහුකාර්ය වරාය/පර්යන්තය” සහ “වරාය යටිතල පහසුකම් සංවර්ධනය,” සඳහා සම්මාන හිමි කර ගැනීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සමත්ව ඇත.

    වරාය සහ පර්යන්ත ක්ෂේත්‍රයේ, ජාත්‍යන්තර සමාගම් සහ වෘත්තිකයන් රාශියකගේ සහභාගීත්වයෙන්, ඩුබායි හි ෂැංග්‍රිලා හෝටලයේ පසුගියදා නිමාවූ මෙම සම්මාන උළෙලේදී 2021 වසර තුළ වරාය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉහළම දායකත්වයක් දැක්වූවන් ඇගයීමට ලක් කළේය.

    ‘2021 වසරේ වරාය යටිතල පහසුකම් සංවර්ධනය’ සහ ‘2021 වසරේ හොඳම බහුකාර්ය වරාය / පර්යන්තය’ ලෙස හම්බන්තොට වරාය තෝරා පත් වුයේ, සෑම කාණ්ඩයකම හොඳම සුදුස්සා ඇගයීම සඳහා ග්ලෝබල් පොර්ට් ෆෝරම් විසින් අනුගමනය කළ සාවධාන ක්‍රියාවලියකින් අනතුරුවය. ගෝලීය වරාය ගනුදෙනුකරුවන් සහ ගෝලීය වරාය කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ වරාය විශේෂඥයින්ගෙන් සමන්විත වූ ගෞරවාන්විත විනිසුරු මඩුල්ලක් තේරීම් ක්‍රියාවලියට සහභාගී විය.

    වරාය වෙනුවෙන් පෙනී සිට සම්මාන ලබා ගත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙවැනි කීර්තිමත් හමුවකදී ප්‍රධාන සම්මාන 2ක් දිනා ගැනීම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කණ්ඩායමේ කැපවීම සහ ප්‍රවීණතාව තහවුරු කිරීමක් මෙන්ම වරාය විසින් ලබා දෙන සේවාවන්හි ගුණාත්මකභාවය සහතික කිරීමක් බවයි.

    “ලෝකයේ විශිෂ්ඨ වරාය ක්‍රියාකරුවෙකු වන CMPort සමාගමේ හවුල්කරුවකු වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය, වසරේ බහුකාර්ය වරාය/පර්යන්තය ලෙස පිළිගැනීමට ලක් වීම වැදගත් ජයග්‍රහණයකි. මෙම හවුල්කාරීත්වයෙන් ලැබෙන සහයෝගීතාව සමඟ අපගේ විශේෂඥ කණ්ඩායමේ නිපුණත්වය තුළින් අප ගෝලීය සැපයුම් වෙළඳපොළට ලබා දෙන්නේ විශාල අගයකි. වරාය සේවා, සමුද්‍ර සේවා, බලශක්ති කේන්ද්‍රස්ථානය, වරාය කර්මාන්ත උද්‍යානය සහ සමෝධාන කාර්ය උපාය වැනි වරාය අංශවල සියලුම සංවර්ධන කටයුතු වේගවත් වී ඇත. වසංගතයෙන් අනතුරුව, නැගෙනහිර-බටහිර මුහුදු මාර්ගයන්හි සිදු වූ අගුලු දැමීම් හේතුවෙන් සැපයුම් දාමයන්හි නොයෙකුත් වෙනස්වීම් ඇති විය. එම නිසාම අපගේ බහුකාර්ය වරාය, ආයෝජකයින්ට මෙන්ම සෑම ගනුදෙනුකරුවෙකුටම නව සහ ක්‍රියාශිලී විකල්ප ඉදිරිපත් කිරීමට කැප වි සිටී”යැයිද තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි.

    ජාත්‍යන්තර වරාය පද්ධතියේ සාමාජිකයින් අතර සහයෝගීතාව තුළින් වරායන්හි අභිලාෂයන් ඉහළ නැංවීමේ බලාපොරොත්තුවෙන් පිහිටුවන ලද Global Ports Forum සම්මාන උළෙලේ මූලික අරමුණ වන්නේ කර්මාන්තයට වටිනාම දායකත්වය ලබා දුන් පුද්ගලයන් හා සමාගම් හඳුනා ඒවා සඳහා සම්මාන ප්‍රදානය කිරීමයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.