fbpx
තවත්
    මුල් පිටුවspecialමුදල් ඇමති - මහබැංකු අධිපති අමෙරිකාවේදී සාර්ථක සාකච්ඡා වට කිහිපයක

    මුදල් ඇමති – මහබැංකු අධිපති අමෙරිකාවේදී සාර්ථක සාකච්ඡා වට කිහිපයක

    ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රමවේද පෙන්වාදෙමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපේක්ෂිත ජාත්‍යන්තර ආයතන සිය සහය ලබා දෙන බවට ශ්‍රී ලංකාවට සහතික වී තිබේ.

    ඒ මේ දිනවල අමෙරිකාවේ වොෂිංටනයේදී මුදල් අමාත්‍ය අලි සබ්රි, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු  දූත පිරිස අමෙරිකාවේදී පැවැත්වූ සාකච්ඡාවලදී ය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය ආදී ආයතන ගණනාවක නියෝජිතයන් සමඟ ඊයේ දිනයේදීත් වට කිහිපයකින් පැවති සාකච්ඡාවලදී එම නියෝජිතයින් ආර්ථික සංවර්ධනය සඳහා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන අභියෝග සඳහා උපාය මාර්ගික විවිධ විකල්ප සහ විසඳුම් කෙරෙහි අවධානය යොමු කර ඇත.

    ඊයේ(20) දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF ) හි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් සමඟ මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සාකච්ඡාවක් පවත්වන ලදී.

    ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග සහ ආර්ථික අභියෝග කඩිනමින් විසඳීමට අවශ්‍ය යාන්ත්‍රණ සහ ක්‍රියාමාර්ග පිළිබඳව මෙම නියෝජිතයන් අතර සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) හි ආසියා කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක, විශේෂඥ අංජලී කෞර් සහ එම ආයතනයේ ජාත්‍යන්තර සහයෝගිතා විශේෂඥ සංජය ආර්. අයියර් සමඟ ද අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ නිවසේ දී සාකච්ඡාවක පවත්වා තිබුණි.

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ,  සහ අමෙරිකාවේ ආර්ථික ඒකකයේ ප්‍රධානී ජෝන් එම්සී ඩැනියෙල් සමඟ ද මෙරට දූත පිරිස සාකච්ඡා කර ඇත.

    සාකච්ඡාවෙන් අනතුරුව සිය නිල ට්විටර් ජාලයේ සටහනක් තබමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය පවසා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලාංකාව එක්ව කටයුතු කරමින් ජනතාවගේ ආර්ථික දුෂ්කරතා සමනය කිරීම සඳහා තිරසාර විසඳුමක් සඳහා කටයුතු කිරීම අමෙරිකාව සාදරයෙන් පිළිගන්නා බවය.

    මේ අතර මුදල් අමාත්‍ය අලි සබ්රි සහ IMF හි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මෙරට දූත පිරිස අතර ද ඊයේ (20) දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් කාර්යාලයේදී හමුවක් පැවැත්විණි.

    එහිදී IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා මාර්ගගත සිතියමක් ඔස්සේ එක්ව කටයුතු කිරීමට ඇයගේ අවංක කැපවීම සහතික කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවේ දී මූලික වී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.