fbpx
තවත්

    “අපි සූදානම්”- GMOA

    ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති වත්මන් පාලන ක්‍රමය වෙනුවට රටට හිතැති වගකීමක් සහිත ක්‍රමවේදයක් ගොඩනැගීම වෙනුවෙන් රටේ විද්වතුන් සහ වෘත්තිකයන් ඉදිරිපත් විය යුතු කාලය එලබ ඇතැයි ද ඊට නායකත්වය දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් යැයිද එම සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

    ජනතාවගේ ගැටලුවලට සැබෑ පිළිතුරු ලබාදෙනු වෙනුවට මර්දනය හා ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට රජය අපේක්ෂා කරන්නේ නම් ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනීසිටින බවද ඔහු සඳහන් කළේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් මහතා නිකුත් කර ඇති නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    ඉන්ධන සහ ඖෂධ හිඟය හමුවේ සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීම.

    වර්තමාන රජයේ දුර්වල මූල්‍ය විනය සහ අදූරදර්ශී ආර්ථික උපාය මාර්ග නිසාත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අකාර්යක්ෂමතාවය නිසාත් උද්ගතවුණු ඖෂධ සහ උපකරණ හිඟය දිනෙන් දින උග්‍ර වෙමින් පවති.

    හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්තුමන් සහ බලධාරීන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම දැනුවත් කර තිබියදි මෙන්ම මෙම අර්බුදය විසදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප විසඳුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය මෙම ගැටලුව විසඳීමට ක්ෂණික ක්‍රියාමාර්ග නොගැනීම විමතියට කරුණකි.

    අපගේ යෝජනාවන්ට අනුව මධ්‍ය කාලීන විසඳුමක් ලෙස විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ආධාර ලෙස ඖෂධ සහ උපකරණ ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම සතුටට කරුණකි.

    එහෙත් කෙටිකාලීන විසඳුමක් ලෙස හදිසි සෞඛ්‍ය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමත්, දැනට රෝහල් පද්ධතිය තුළ ඇති ඖෂධ සම්බන්ධයෙන් විගණනයක් සිදු කර එම ඖෂධ කළමනාකරණය කර ගැනීම සඳහා නිසි තාක්ෂණික වැඩපිළිවෙළක් සකස් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් අපොහොසත් වී ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රජයත් මේ සම්බන්ධයෙන් දිනෙන් දින නිකුත් කරන පරස්පර විරෝධී ප්‍රකාශයන්ගෙන් ගම්‍ය වන්නේ මෙම අර්බුදය සම්බන්ධයෙන් වත්මන් පාලකයින්ගේ ඇති වගකීම් විරහිත සහ අසංවේදී ප්‍රතිචාරයයි. ඔවුන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා පවතින ඖෂධ හිඟය තව තවත්උග්‍ර වීමෙන් මෙරට සාමාන්‍ය ජන ජීවිත අවදානමකට ලක්වීම වළක්වා ගත නොහැකි වනු ඇත.

    පවතින දැඩි ඉන්ධන හිඟයද, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට දැඩි බාධාවක් එල්ල කර ඇත. පොදු ප්‍රවාහනය අඩාල වීමත්, ඉන්ධන සපයාගැනීම සඳහා පෝලිම්වල දිගු වේලාවක් රැදී සිටීමට සිදුවීමත්, ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් නිසාත්, සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට තම සේවා මුර සහ ඇමතුම් රාජකාරි සඳහා වාර්තා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් නිවේදනයකින් රජය මගින් ප්‍රකාශයට පත් කර ඇත. එම අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම රජයේ වගකීමකි. එබැවින් මේ මොහොතේ රෝහල් පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වීමටත්, සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට තම සේවාව සඳහා වාර්තා කිරීමටත් අවශ්‍ය පරිදි ඉන්ධන හිඟයකින් තොරව සැපයීමට රජය අපොහොසත් වන්නේ නම් නුදුරේදීම රට තුල සෞඛ්‍ය සේවය බිඳ වැටීම වළක්වාගත නොහැකි වනු ඇත.

    පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේදී රජය විසින් පෙන්නුම් කරන දැඩි අසමත්භාවයත්, අසංවේදීතාවයත් හේතුවෙන් පීඩනයට සහ අසහනයට ලක්ව සිටින මෙරට ජනතාව මෙන්ම වෘත්තිකයින් ද කිසිදු භේදයකින් තොරව මෙම රජයට එරෙහිව ගොඩනැගෙන අරගලයට එකතු වීම දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. ජනතාවගේ ගැටලුවලට සැබෑ පිළිතුරු ලබා දෙනු වෙනුවට ඔවුන් වෙත මර්දනය සහ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම තුළින් මෙම ගැටළුව යටපත් කිරීමට රජය අපේක්ෂා කරන්නේ නම්, එම මර්දනයට විරුද්ධව මෙරට පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිකයින් කිසිවිටෙකත් පසුබට නොවනු ඇත.

    ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති වත්මන් පාලන ක්‍රමය වෙනුවට රටට හිතැති වගවීමක් සහිත ක්‍රමවේදයක් ගොඩ නැගීම වෙනුවෙන් රටේ විද්වතුන් සහ වෘත්තිකයන් ඉදිරිපත් විය යුතු කාලය එළඹ ඇත. ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නායකත්වය ලබාදීමට සූදානමින් සිටින අතර වත්මන් පාලනය මඟින් අහිමි කර ඇති රටේ ජනතාවගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා සිදු කරන අරගලයේ දී පොදු ජනතාව වෙනුවෙන් ශක්තිමත්ව සහ අඛන්ඩව අපි පෙනී සිටින්නෙමු

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.