මුදල් විශුද්ධිකරණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින දෙමටගොඩ රුවන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඇප ලබාදීමට අවශ්‍ය කටයුතුකර දීමටත් පවතින විමර්ශනය අඩපනකර දීමටත් දෙමටගොඩ රුවන්ගේ පුතාගෙන් රුපියල් කෝටි එකහාමාරක මුදලක් ලබාගත්තේ යැයි සදහන් දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් මෑතකදී ඇමතිවරයෙක් සමඟ ඩුබායි ගොස් විනෝද වී ඇති බව හෙළිවී තිබේ.
දෙමටගොඩ රුවන්ගේ පුතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශයක සඳහන්ව ඇත්තේ තමන්ට සිය පියා නිදහස්කර ගැනීමට කතා කිරීමට ගිය අවස්ථාවේදී එම පුද්ගලයින් දෙදෙනා මුණ ගැස්සුවේ රජයේ ආයතනයක සභාපතිධූරය දරන ප්‍රබලයෙකු බවය. එම පුද්ගලයාගේ නම පවා පැහැදිලිවම දෙමටගොඩ රුවන්ගේ පුතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබේ.
කාන්චන සහ සෆ්රාස් නැමැති දෙදෙනෙක් මෙසේ හදුන්වා දී ඇති අතර කාන්දන නැමැති අය පෙනී සිට ඇත්තේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙසිනි. සෆ්රාස් නැමැත්තා ද අදාල ඇමතිවරයාගේ සමීපතයෙක් ලෙස පෙනී සිට ඇති බවද මේ වන ඒ සම්බන්ධයෙන් කෙරන විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. අදාල අමාත්‍යවරයා සමඟ ඩුබායි ගොස් ඇත්තේ සෆ්රාස් නැමැත්තා බව මේ වන විට හෙළිවී තිබේ.
මෙම සිදුවීම් සියල්ලක්ම සම්බන්ධයෙන් ජනපති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණයක් ආරම්භකර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.