fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආබාධිත රණවිරු වැටුප් දීමනා යැපෙන්නන්ටත් දිවි ඇති තෙක්

    ආබාධිත රණවිරු වැටුප් දීමනා යැපෙන්නන්ටත් දිවි ඇති තෙක්

    ආබාධිත රණවිරුවනට ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම පිණිස අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවසීය.

    එබැවින්  ඒ සඳහා උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත්, උද්ඝෝෂණ පිටුපස ඇත්තේ වෙනත් අරමුණක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ  කළේය. 

    මිය ගිය රණවිරුවන්ගෙන් යැපෙන්නන්ටත් එකී වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ලබා ගැනීමට ද මින් අවස්ථාව සැලසේ.

    මින් පෙර කාලවලදී කළ අයුරින් උද්ඝෝෂණකරුවනට වත්මන් රජය කිසිදු හිරිහැරයක් නොකළ බව ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ද සඳහන් කළහ.

    ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (08) රැස් විය.

    වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙයයි. ජනාධිපතිවරයා ඊට සහභාගී වූයේ කාරක සභා සභාපති ධූරය විෂයභාර ඇමතිවරයාට හිමිවන බැවිනි.

    ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය ප්‍රවර්ධනය, රණවිරු වැටුප්, මත්ද්‍රව්‍ය නිවාරණය, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතනවල වාර්ෂික වාර්තා වැනි විෂයය ගණනාවක් එහිදී සාකච්ඡාවට ලක් විය.

    ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැස්වීමට එක්ව සිටියහ. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට මැති ඇමතිවරු මෙතරම් පිරිසක් සහභාගි වූ මෑත කාලයේ ප්‍රථම අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු නිලධාරීහූ සඳහන් කළහ.

    නීතිය හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මහතා අවශ්‍යතාව අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර ඇතැයි කීය. ඒ සමගම පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම පිණිස ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම 10,000ක් අලුතින් බඳවා ගැනෙති.

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ අදහස් හුවමාරුවේදී ඉදිරිපත් වූ යෝජනාවකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන නව ජාතික ප්‍රතිපත්තිය දැන් සම්පාදනය කොට අවසන් බව පැවසීය. එය ළගදීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයේ දී ආගමික උපදේශනය භාවිත කිරීමේ වැදගත්කම  පෙන්වා දුන්නේය.

    ආගමික අන්තවාදය ඇතුළත් පොත පත තහනම් කිරීම පිළිබඳව මතු වූ අදහසකට පිළිතුරු දුන් ජනාධිපති රාජපක්ෂ මහතා මේ තීරණය නිශ්චිත ආගමක් ඉලක්ක කොට ගත්තක් නොවන බවත්, පොදුවේ සෑම ආකාරයකම ආගමික අන්තවාදය පිටුදැකීම අරමුණ බවත් පැවසීය.

    ආරක්ෂක හමුදාවනට අයත් ප්‍රයෝජනයට නොගත් ඉඩම්වල පොල් හෝ වෙනත් සුදුසු බෝග වගා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මහතා ඒ සදහා භාවිත කළ හැකි ඉඩම් හඳුනාගන්නැයි ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීහූ ද සාකච්ඡාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.