fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනතාව ඉස්සර කිව්වේ 'අතිගරු ජනපති' දැන් කියන්නේ 'ඇති ගරු ජනපති'- සජිත්

    ජනතාව ඉස්සර කිව්වේ ‘අතිගරු ජනපති’ දැන් කියන්නේ ‘ඇති ගරු ජනපති’- සජිත්

    අවුරුදු දෙකක් තිස්සේ රටේ ජනතාව දුක් විඳින බවත් ජනතාවට තවත් මේ දුක උහුලන්න දියනොහැකි බවත් ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුව නිසා වහාම මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    තමන් මේ ස්ථානයට ආවේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට බවද ඒ මහතා කීය .

    දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

    “දුර්දාන්ත ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ ‘අතිගරු ජනාධිපතිතුමා’ කියලා. දැන් ජනතාව කියන්නේ ‘ඇති ගරු ජනාධිපතිතුමා’ කියලා.

    ජනතාව මේ තරම් අසරණ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි.

    දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳිනවා. ජනතාවට තවත් මේ දුක උහුලන්න දෙන්න බැහැ. ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපි මේ ස්ථානයට ආවේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.

    අපි ආවෙ රට කාබාසිනියා කරපු ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්න. උද්ධච්ච ජන හද ගැස්ම නොතේරෙන මේ ආණ්ඩුව ජනතා දුක අහන්න සූදානම් නැහැ. ජනතා දුක අහන්න සූදානම් නැති මේ ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම් ද කියලා අපි ජනතාවගෙන් අහනවා.

    මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුව පලවා හරින ගමන අපි අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ගෙදර යවන ගමන අපි ආරම්භ කරනවා.” යැයිද විපක්ෂනායකවරයා එහිදී කීවේය.

    කොළඹදී රැස්වූ මෙම සමගි ජනබලවේග රැළියට දසදහස් ගණනින් ජනතාව පැමිණ සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.