fbpx
තවත්
    මුල් පිටුවspecialවිෂ ඇති ඇත්තෝ

    විෂ ඇති ඇත්තෝ

    සමාජයක ජීවත් වීමේදී විවිධාකාර පුද්ගලයින් ඇසුරු නිසරු කිරීමට අපට සිදුවේ. “ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි” යන කියමන සමාජයේ විෂමතාව මත ඇතිවූවකි. තරගකාරී සමාජ ක්‍රමයක් මත දිනෙන් දින පරාර්ථය වඳ වෙමින් ආත්මාර්ථය වගා වෙමින් පවතී. විවිධ දර්ශන වල දැක්වෙන පරිදි “ලෝක විනාශය” කරා සමාජය ක්‍රමිකව ගමන් කරයි.

    කුහකත්වය, අනෙකාගේ දියුණුව උහුලාගත නොහැකි බව, අනුන් පෙලා සතුටු වීම විෂැති මිනිසුන්ගේ (toxic people) විනෝදාංශයයි. එය ඔවුන්ගේ මානසික සමබරතාව පිළිබඳව වූ සංකූලතාවයකි. තමාගේ නිලය සහ බලය අයුක්තිය සහ අසාධාරණය වෙත යෙදවීම බොහෝ විෂැති මිනිසුන්ගේ ලක්ෂණයකි. බද්ධ වෛරයත්, පලිගැනීමත් ඔවුන්ගේ ආත්මය වී ඇත.

    යථාවාදී-තථාකාරී ගතිගුණ මොවුන් තුල නැත. කියන්නේ එකකි, කරන්නේ තවකෙකි. මුහුණට පණ දෙන මොවුන් තම ගොදුර ක්‍රමිකව වනසා දැමීමට කටයුතු කරති. මෙවැන්නෝ බොහෝවිට අපට හඳුනා ගැනීම ඉතාමත් අපහසුය. ඔවුන් ඔබේ සමීපතමයා වීමට ද හැක! ජීවන අත්දැකීම් අනුසාරයෙන් විෂ පුද්ගලයින් හඳුනාගෙන දුරින් දුරු කිරීම සැම අතින්ම ප්‍රඥාගෝචරය.

    විෂ පුද්ගලයින්ගේ මෙහෙයුම් හේතුවෙන් මානසික ආබාධ වලට ලක්වූවන්, දිවි තොරගත් අය, ආබාධිත වූවන් අනන්තය, අප්‍රමාණය.

    කළ යුත්තේ කුමක්ද?

    1. සැමවිටම තම වටාපිටාව ගැන අවධානයෙන් සහ එළඹගත් සිහියෙන් සිටීම.
    2. තම අතිශය පෞද්ගලික සහ තමාට අහිතකර වේ යැයි හැඟෙන තොරතුරු කිසිවෙකුට නිරාවරණය නොකරන්න.
    3. එම පුද්ගලයින්ගේ හැසිරීම් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමුකර විශ්ලේෂණය කරන්න.
    4. ඔවුන් තමාට අහිතකර යමක් සිදු කරන්නේ නම් වහාම ඉවත්වන්න. නිහඬව නිසි ක්‍රියාමාර්ග ගන්න. ඔවුන් සමග පවතින  සියලුම සබඳතා ප්‍රථම අවස්ථාවේදී ම අතහරින්න. තවදුරටත් කතා කිරීමෙන් වලකින්න. සුදුසු ක්‍රියාමාර්ගය බුද්ධිමත්ව ගන්න. ඔබේ දුර්වලතා ඔවුන් මනාව භාවිතා කරනු ඇත. මෙනිසා කල්පනා කාරී වන්න.
    5. විෂ සහිත පුද්ගලයින් වෙත පෙරලා පලිගැනීමෙන් වලකින්න. ඔවුන්ව අතහැර දමන්න. මෛත්‍රී කරන්න. එයින් ඔබට සහනය ගෙන දෙනු ඇත.
    6. වැරදි දෙයකදී බැහැ කීමට පුරුදු වන්න. අයින් කිරීම සහ අතහැරීමේ වෙනස තේරුම් ගන්න. ඒ අනුව කටයුතු කරන්න.
    7. විෂැති පුද්ගලයින් සඳහා හොඳම දඬුවම බ්‍රහ්මදණ්ඩණයයි. බ්‍රහ්මදණ්ඩණය  යනු කථා නොකිරීමයි. තමන් හෝ සමූහයක් ලෙස හෝ විෂැති පුද්ගලයින් සමග කතා බහ අතහැරීම ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ලඟා කර දෙයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
      බුදු සමයේ සඳහන් විෂැති පුද්ගලයකු වන දේවදත්ත ස්ථවිරයන් වෙත බ්‍රහ්මදණ්ඩණය පැණවීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලහ.

    දීර්ඝ කාලයක් විෂැති පුද්ගලයින් අධ්‍යයනය කිරීමෙන් තෙම්පරාදු වූ සත්‍යගවේෂී ඔබ සැමගේ යහපත සඳහා ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.

    තම තම නැණ පමණින් විෂැති පුද්ගලයින් දුරුකරගෙන ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය යහපත් කර ගනිත්වා.

    එඤ්ඤං
    මං
    සත්‍යගවේෂී

     

    සත්‍යගවේෂී

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.