fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ස්විස් පැන්න නිශාන්ත සිල්වා ඇතුළු සී.අයි. ඩී. තුනක් මිනිස් ඝාතනයකට අල්ලන්නැයි නීතිපති...

    ස්විස් පැන්න නිශාන්ත සිල්වා ඇතුළු සී.අයි. ඩී. තුනක් මිනිස් ඝාතනයකට අල්ලන්නැයි නීතිපති කියයි

    මිනිස් ඝාතන හා මංකොල්ලකෑම්වල නිරතව සිටි ඌව සහ දකුණු පළාත්වල නමගිය පාතාල අපරාධකරුවෙක් වූ ආමි සුරංග නැමැත්තාව 2006 වසරේදී සෙවනගල කෙසෙල් වගා බිමකදී ආයුධ පෙන්වීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් ස්ට්සර්ලන්තයට පළාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් තිදෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අද (06) දැනුම් දුන්නේය.

    නිශාන්ත ද සිල්වා සමග ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක සහ පොලිස් කොස්තාපල් හේමකුමාර යන නිලධාරීන් දෙදෙනා එම ඝාතනයට අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම දැනුම් දෙන්නේ 2019 වසරේදීය. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතවූ ශානි අබේසේකර මහතා එම උපදෙසට අනුුව ක්‍රියාත්මක නොවී එම ඝාතනය සාධාරණ මිනිස් ඝාතනයක් බවට නීතිපති දෙපාර්තමේන්තුව සමග තර්ක කරමින් සිටියේය.

    එම ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ඇඹිලිපිටිය අධිකරණයේ විභාග වන අතර ආමි සුරංගව කෙසෙල් කොරටුුවට රැගෙන ගොස් පොලීසිය විසින් වෙඩි තබනු දුටු පුද්ගලයෙක්ද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබේ. එම සාක්ෂිකරු ආමි සුරංග නැමැත්තාගේ මාමා ය.

    “එදා ආමි සුරංග මගේ ගෙදර නිදාගෙනයි හිටියේ. පොලීසියෙන් කියල පිරිසක් නිවසට කඩා වැදුණා. එක් අයෙක් තමා අයි.පී. රත්නායක බව කිව්වා. තවත් අයෙක් නිශාන්ත සිල්වා කියලත් කිව්වා. ඒ අය නිදාගෙන සිටටි බෑනව ඇහැරවල ගෙයින් එළියට අරගෙන ගියා. ඒ වෙලාවේ මට සැකයක් ඇතිවුනා. එයාලට නොදැනෙන්න ගස් පදුරු අස්සෙන් රිංගමින් පස්සෙන්ම ගියා. ඒ එක් අවස්ථාවකදී රත්නායක කියල හදුන්නල දුන්න නිලධාරියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා. සුළු වේලාවක් ඒ අය දුරකතනයෙන් කථා කළා. ඒ වෙලාවේ නිශාන්ත සිල්වා යැයි හදුන්නාදුන් නිිලධාරියාගේ අතට දුරකතනය දුන්නා. ඔහු යමක් කථාකර අනතුරුව දුරකතනය අනෙත් නිලධාරියාට ලබාදීල ගිනි අවියක් අතට අරගෙන බෑනව කෙසෙල් හේනට අරගෙන ගියා. ටික වේලාවකට පස්සේ වෙඩි හඩක් ඇසුනා.“ යැයි ඔහු අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇත්තේ එසේය.

    නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන්ට එරෙහිව පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් නීති කෘත්‍යක් ආරම්භ කිරීම සදහා පියවර ගන්නා ලෙසත් එහි මූලික පියවර ලෙස ඔවුුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා පොලිසියට ඉකුත් 2019 අගෝස්තු මාසයේදී මුලින්ම උපදෙස් දෙන්නේ එම සාක්ෂියට අනුවය. එම නීති උපදෙස් අනුව පොලීසිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නැවතත් සිහිකැදවීමක් නොවැම්බර් මාසයේදී සිදුව තිබුණි. එහෙත් මෙතෙක් පොලීසිය නීතිපති උපදෙස් ක්‍රියාත්මක කර තිබුනේ නැති බැවින් නීතිපතිවරයා නැවත් අද ‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට ඒ බව දැනුම් දී තිබේ.

    ඒ අනුව එම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මූලික පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සවස් වන විට පියවර ගෙන තිබුණි. නිශාන්ත සිල්වා රටින් පළාගොස් ඇති බැවින් අධිකරණයට ඒ ගැන කරුණු වාර්තාකර ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් නිකුත් කර ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිිලධාරියෙක් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.