fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාර්තු 05 වෙනිදා සිට විදුලි කප්පාදුවක් නැහැ - ජනපති හමුවේ නිලධාරීහු පවසති

    මාර්තු 05 වෙනිදා සිට විදුලි කප්පාදුවක් නැහැ – ජනපති හමුවේ නිලධාරීහු පවසති

    මාර්තු 05 වෙනිදා සිට කප්පාදුවකින් තොරව විදුලිය ලබාදෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්වල නිලධාරීන් සදහන් කර තිබේ.

    ඒ පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

    අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් දුන්නේය.

    ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට ද එම රැස්වීමේදී තීරණය වී ඇත.

    දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවද එහිද සදහන් වූ බවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස, නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් , ජනාධිපති ලේකම් ගාමිණි සෙනෙරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඇතුළු රේඛීය කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, ආයතන සභාපතිවරු සහ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.