fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝක බාලදක්ෂ දින සැමරුමට ජනපති එක්වෙයි

    ලෝක බාලදක්ෂ දින සැමරුමට ජනපති එක්වෙයි

    ලෝක බාලදක්ෂ දින සැමරුම හා ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ලෝකයේ ළමුන් වෙනුවෙන් ඇති විශාලතම ස්වේච්ඡා සංවිධානය බාලදක්ෂ ව්‍යාපාරය වන අතර රටවල් 172ක මිලියන 52ක් ළමුන් එහි සාමාජිකත්වය දරති. ඊට සම්බන්ධ වන බාලදක්ෂයෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය ජනාධිපති බාලදක්ෂ පදක්කමයි.

    ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් උත්සව සභාවට පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බාලදක්ෂ කරලේන්සුව පළඳවා පිළිගනු ලැබීය.

    බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම, සෑම දිස්ත්‍රික්කයකින්ම එක් අයෙකු නියෝජනය වන සේ තෝරාගත් බාලදක්ෂයන්ට ජනාධිපති බාලදක්ෂ සම්මානය ජනාධිපති අතින් පිරිනැමුණි.

    ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනට සමගාමීව පළාත් මට්ටමින් වැඩසටහන් 09ක් පැවති අතර ජනාධිපති බාලදක්ෂයින් 700 දෙනෙකුට එහිදී සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. සියලු පළාත් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ කෙරෙමින් වැඩසටහන පැවැත්විණ.

    පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය සාර්ථකව නිම කළ බව දැනුම් දීමේ වාර්තාව සහාය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කළේය.

    සෑම බාලදක්ෂයෙකුගේම නිවසක හරිත ගෙවත්තක් ඇති කිරීමේ වැඩසටහන සංකේතවත් කරමින් පැළ බෙදාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

    ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහි දී සිදු විය.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.