fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැලිවල කොටවෙහෙරේ සොරුන් කොටුවන ලකුණූ

    දැලිවල කොටවෙහෙරේ සොරුන් කොටුවන ලකුණූ

    රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්ධිරයේ තිබූ ඓතිහාසිකමය වැදගත්කමකින් යුතු රන් සහ පළිඟු කරඬු සොරාගැනීමට සම්බන්ධ සැකකරුවන් වැඩි කල් නොගොස් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

    රන් කරඩු පහක් සහ පළිඟු කරඬු තුනක් මෙසේ අතරුදහන්ව ඇත. ඒවා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ විශේෂ මංජුසාවක තැන්පත් කර තිබූ බවත් ඒවා බිඳ රන් කරඬු 5ක් හා සහ පළිඟු කරඬු තුනක් සොරා ගෙන ඇති බව පොලීසිය පවසයි. සෙසාරාගෙන ඇති මෙම භාණ්ඩවල ඓතිහාසික වටිනාකම වසර 2000 ඉක්මවන බව සඳහන්ය.

    මෙම ධාතු කරඬු හා පළිඟු 1956 සහ 2000 වසර වල දැලිවල කොටවෙහෙරේ කළ කැණීම් කටයුතුවලින් සොයා ගෙන තිබේ.

    මෙම සොරකම සිදුවී ඇති දාතු මන්දිරයේ යතුරු ඇත්තේ විහාරාධිපතිහිමියන් සහ දාතු මන්දිරයේ පූජාව භාරව කටයුතු කරන උපාසකයෙකු සතුව බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. දාතු මන්දිරයේ දොරගුළු බිද මෙම සොරකම කර ඇති බව හෙළිනොවන බැවින් සොරකම සිදුව ඇත්තේ දොරගුළු විවරකරගෙන බව පොලීසිය සැකකරයි.

    දාතු මන්දිරයේ මෙම සොරකම සිදුව ඇති බව මුලින්ම දැක ඇත්තේ 12 වෙනිදා අලුයම තේවාව පැවැත්වීමට පූජා භාර උපාසකතැන විසින් මන්දිරය විවෘතකර ශුද්ධ පවිත්‍ර කිරීම් කිරීමට සූදානම් වීමේදීය.

    එම අවස්ථාව වන විට විහාරාධිපතිහිමියන් විරාස්ථානයේ වැඩ සිට නැති අතර පුණ්‍ය කටයුත්තක් සඳහා විහාරස්ථානයෙන් බැහැරව සිට ඇත.

    දාතු මන්දිරය ඇතුළු විහාරස්ථානය ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධතියක්ද ස්ථාපිතය. පොලීසිය පවසන්නේ එම ආරක්ෂක කැමරා පද්ධතිය මාසයක දෙකක සිට අක්‍රියව පවතින බව පරීක්ෂාවේදී තහවුරු වූ බවයි. මෙම ආරක්ෂක කැමරා පද්ධතිය පිළිබදවද යම් අවබෝධයක් ඇති අයෙක් මෙම සොරකම සිදුකර ඇති බව පෙනී යන බවත් විහාරස්ථානයට නිතර යන එන අයෙක් හෝ විහාරස්ථානයට සම්බන්ධකමක් ඇති අයෙක් මෙම සොරකම කර ඇති බව පෙනී යන බවත් පොලීසිය සැකකරයි.

    රඹුක්කන දැලිවල කොටවෙහෙර ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට පමණ අයත් බවට සැලකෙන විහාරස්ථානයකි.

    මෙම චෛත්‍යය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කළ කැණීම්වලදී ශෛලමය මංජුසා තුළ තැන්පත් කර තිබූ රන් කරඬු 6,පබුළු ඇල්ලූ විල්ලුද රෙදි කඩක ඔතා මැටි බඳුනක් තුල තැන්පත් කර තිබූ තවත් රන් කරඬුවක් ද හමුවී තිබේ .පබුළු ඇල්ලූ රෙදි කඩ කාල නිර්ණය සඳහා ඕස්ට්‍රේලියාවේ පැරණි රෙදි පිලි පිළිබඳව විශේෂඥවරියක් වූ ආචාර්ය ජූඩ්කැමරන් මහත්මිය වෙත යවනු ලදුව එම රෙදි කඩ වෂර 2200 ක් පමණ එකක් බව එය ආසියාවේ මෙතෙක් හමුවූ පැරණිම රෙදිකඩ බව 2010 දි එවන ලද වාර්තා කර තිබේ. එම රෙදි කඩ සොරුන් විසින් රැගෙන ගොස් නැත. සොරාගත් කරඩු තිබූ ස්ථානයට මදක් ඈතින් වූ අල්මාරියක තවත් කරඩු කිහිපයක් ඇතුළු පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති තවත් භාණ්ඩ රැසක් තිබී ඇතත් සොරුන් ඒවා රැගෙන ගොස් නැති අතර ප්‍රදර්ශනයේ පැවති කරඩු කිහිපය පමණක් සොරාගෙන ගොස් තිබෙන බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

    මිල කළ නොහැකි පෞරාණීක වටිනාකම් ඇති භාණ්ඩ රැසක් ඇති මෙම විහාරස්ථානයේ ආරක්ෂාව ඉතා දුර්වල මට්ටමක පවතින බවත් අඩුම තරමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හෝ මෙවන් පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති වස්තූන් මෙම විහාරස්ථානයේ ඇති බව දැනුම් දෙමින් ආරක්ෂාවක් ඉල්ලා සිටියේ නම් පොලීස් ආරක්ෂාවක් ලබාදීමට හැකියාව තිබුණු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම විහාරස්ථානයේ මෙතරම් පෞරාණික වටිනාකම් ඇති දේපොල ඇති බව පොලීසිය පවා දන්නේ මෙම සොරකමෙන් අනතුරුව බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.