fbpx
තවත්
    මුල් පිටුවspecialපෙර-අපර දෙදිග සම්භාවනාවට පත් මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමි

    පෙර-අපර දෙදිග සම්භාවනාවට පත් මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමි

    දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ – න සෝ සබ්බත්ථ ජායති
    යත්ථ සෝ ජායති ධීරෝ – තං කුලං සුඛමේධති

    දුර්ලභ වූ ආජානේය පුරුෂ තෙමේ සෑම තන්හිම නූපදින බවත්, එවැනි ධීර තෙමේ යම් තැනක උපදී ද ඒ ජන පරපුරම සැපයට පැමිණෙන බව උතුම් බුදු වදනයි. එවන් ලෙස ශ්‍රී ලංකාවේ මුලු මහත් ශාසනයම තම පැවිදි දිවියෙන් ඔපවත් කළ උදාර චරිතාපදානයකට හිමිකම් කියූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ විසිවෙනි සියවසේ විසූ අග්‍රගණ්‍ය මහ පඬිරුවනකි.

    මහචාර්ය හම්මලව නාහිමියෝ වර්ෂ 1914 දී කුරුණෑගල හම්මලව ගම් පියසේ 1914 දී බන්නැහැක මව්පියන්ට දාව ජන්ම ලාභය ලබා වයස අවුරුදු 12 දී එනම් 1926 දී උතුම් පැවිදි බව ලැබූහ. පැවිදි බව ලැබීමෙන් අනතුරුව සද්ධාතිස්ස සාමණේරයන් වහන්සේ මූලික බණ දහම් අධ්‍යාපනය සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනින් ලැබූ අතර ඉන් පසු ද්විතීයික අධ්‍යාපනය සදහා වර්ෂ 1933 දී එවකට ප්‍රාචීන භාෂා අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙසින් සැලකුණු කොළඹ, මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණෙට ඇතුළත් වූහ. එහි දී උසස් ලෙස අධ්‍යාපනය හැදෑරු සද්ධාතිස්ස හිමියෝ වර්ෂ 1936 විද්‍යොදය පිරිවෙණ් අවසන් පරීක්ෂණයෙන් ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව සමත් වූ අතර ප්‍රාචීන භාෂෝපාකාර සමිතිය විසින් පවත්වනු ලබන පරීක්ෂණ ද උසස් ලෙස සමත් ව රාජකීය පණ්ඩිතෝපාධිය ද දිනා ගත්හ.

    ඉන් අනතුරුව පල්ලේවෙල වික්‍රමශිලා පිරිවෙනෙහි ගුරුවරයකු ලෙස සේවය කළ උන්වහන්සේට නොබෝ කාලයකින් ම මහාබෝධි සමාගමේ ආරාධනාවක් අනුව ඉන්දියාවට වැඩම කිරීමට සිදු විය. ඒ අනුව සිය ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බරණැස හින්දු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සද්ධාතිස්ස නාහිමියෝ එහි දී ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කොට එහි විශ්වවිද්‍යාලයේ ම පාලි භාෂාව ඉගැන්වීමේ වාසනාව ලදහ. ඉන්දියාවේ වැඩ වාසය කරන කාලයේ දී අධ්‍යාපන කටයුතු වලට පමණක් සීමා නොවූ අතර ස්වකීය පැවිදි දිවියේ උත්තරීතර අරමුණක් වශයෙන් පරාර්ථ සේවාවෙහි ද යෙදුනි. ඒ අනුව උන්වහන්සේට විප්ලවීය සමාජ මෙහෙවරකට දායකවීමට අවස්ථාව උදා වූ අතර, එනම් එකල ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයකු ද වන බී.ආර්. අම්බෙඩ්කාර් මහතා සමග කුල පීඩිත ‘හරි’ ජනයා වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාව ලැබීමයි. හම්මලව හිමියන් ඉන්දියාවේ ගත කළ කාලය පිළිබදව අතිගෞරවාර්හ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ මෙසේ සටහන් කරති.

    ‘‘….හම්මලව සද්ධාතිස්ස නායක ස්ථවිරයන් මා මුලින් ම හැඳින ගත්තේ උන්වහන්සේ ඉන්දියාවේ සාරානාත්හි සංඝාරාමාධිපති ව වෙසෙන අවධියේ ය. එනම් මට මතක හැටියට දෙවෙනි ලෝක සංග්‍රාමයේ අවසාන වර්ෂයේ ය. එසමයේ දඹදිව ගිය මම මාස දෙකක් ඉසිපතනයේ ද, මාස දෙකක් හිමාලයේ යෝගාශ්‍රම දෙකක ද ගත කෙළෙමි. ඉසිපතනයේ ඉන්න දිනවල උන්වහන්සේ සමඟ නොයෙක් දෑ ගැන සාකච්ඡා කෙළෙමි. ඒ දිනවල සද්ධාතිස්ස එහි වසන, මැටිවල සංඝරතන ආදි භික්ෂූන් කැටුව අසල ගම්වල වැඩ හින්දි බසින් බුදුදහම දෙසූ බව දනිමි……… ‘‘
    පුරා වසර 19 තිස්සේ දඹදිව බුදුසමය හා හරිජනයන් වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් කළ උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක දිවියේ විශිෂ්ට සන්ධිස්ථානයක් ලෙස හරිජනයන් පන්ලක්ෂයක් එකවර බුදු දහම වැළද ගැනීම පෙන්වා දිය හැකිය.

    ලන්ඩන් බෞද්ධ විහාරය ඉදිරිපිට – වම්පස සිට බෙල්ලන්විල විමලරතන නාහිමි, කිරින්දේ ධම්මානන්ද නාහිමි, හම්මලව සද්ධාතිස්ස නාහිමි, නෙළුවේ ජිනරතන නාහිමි, මැදගම වජිරඤාණ නාහිමි සහ කාක්කපල්ලියෙ අනුරුද්ධ නාහිමි

    මහාබෝධි සමාගමේ ආරාධනාවකට අනුව 1957 දී ඉන්දියාවෙන් නික්මී එක්සත් රාජධානියට වැඩම කරන නාහිමියෝ එසේ වැඩම කරන ලද්දේ තවත් දෛවෝපගත භාරදූර රාජකාරියක් ඉටු කිරීමේ අටියෙනි. ඒ උන්වහන්සේ පැවිදි දිවියට පත් වූ 1926 වර්ෂයේ දී ම යුරෝපයේ ප්‍රථම ථෙරවාදී විහාරස්ථානය වශයෙන් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් විසින් ආරම්භ කළ ලන්ඩන් බෞද්ධ විහාරයේ අධිපතිත්වය භාර ගැනීමයි. මෙම විහාරස්ථානය ආරම්භ කිරීමෙන් අනතුරුව කලින් කල නායක මාහිමිපාණන් වහන්සේලා වැඩ සිටියද දීර්ඝ කාලීනව එම විහාරය මුල් කොට ගෙන එංගලන්තයේ බෞද්ධාගමික පුනර්ජීවනයකට මුල් පුරන ලද්දේ හම්මලව නාහිමියන් විසිනි. එම අග්‍රගණ්‍ය සේවාව පිළිබදව ද අභිධජරට්ඨගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ මෙසේ ප්‍රකාශ කරති.

    ‘‘…..එංගලන්තයේ ලන්ඩනයෙහි ඇරැඹුණු සංඝාරාමයට වඩිනා දවසේ ද මාලිගාකන්දේ විද්‍යෝදය පිරුවනේ දී උන්වහන්සේ මට හමු විය. උන්වහන්සේට කලිනුත් කිහිපනමක් හෙලදිවින් එංගලන්තයට ධර්මදූත සේවා පිණිස වැඩිය බව ද දනිමි. එහෙත් ඒ හැම කෙනෙකුම අවුරුදු දෙකතුනක් එහි වැස සිය රටට ම වැඩම කළහ. එංගලන්තයේ ශාසනික සෙවයට සිය ජීවිතයම කැපකොට, අවුරුදු තිහකට නොඅඩු කලක් ජීවිතාන්තය තෙක් එහිම ගත කළ එකම සිංහල ප්‍රවුජිතයන් වහන්සේ හම්මලව සද්ධාතිස්ස තෙරණුවෝය.

    මේ කාළය තුළ ඇමරිකා ආදි රටවලටත් වැඩ බුදුදහම ද පාලි භාෂාව ද ඉගැන්වීමේ නිරත වූ උන්වහන්සේ ඇසුරින් පැවිදි බිමට පත් ඉංග්‍රීසි ජාතිකයෝ ද කීප දෙනෙක් වෙති. Buddhist Ethics ආදි වටිනා පොත් ගණනාවක් ම රසයා පළ කැරැවූ උන්වහන්සේ පාලි පොත් සමාගමයට මහත් සහයෝගයක් දෙමින් අභිධම්මත්ථ විභාවිනී ආදී පාලි පොත් කිහිපයක් සංශෝදනය කොට දුන්හ. එහි උපසභාපති ධූරය ද ඉසුලූහ. එංගලන්තයේ පාලිපොත් සමාගමය ටී. ඩබ්ලිව්. රීස් ඩේවිඩ්ස් වියතාණන් ගිය සියවැස අග හරියේදී පිහිටුවාලූ අටුවා සහිත මුළු ත්‍රිපිටකයම ඉංග්‍රීසි අකුරෙන් සපුරා පළ කැරැවූ එකෙකි. එසේම සියලු ත්‍රිපිටක පාලියත් අට්ඨසාලිනී ආදී අටුවා කීපයකුත් ඉංග්‍රීසි බසට නඟා පළකැරැවීමෙන් බුදු සස්නට මහත්ම සේවාවක් කරන උසස්ම පෙළේ පඬිවරුන්ගෙන් මෙබැවුණු ලෝප්‍රකට සමිතියෙකි. එහිද කලක් ම උපසභාපති පදවිය ද දැරෑ එකම සිංහල පඬිවරයාණෝ ද සද්ධාතිස්ස නාතෙරණුවෝය.‘‘

    උන්වහන්සේ ලන්ඩන් විහාරයේ වැඩ වසන අවධියේ දී සාම්ප්‍රදායික ආගමික කටයුතු වලට අමතරව විශ්වවිද්‍යාල වල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි දේශන, සාකච්ඡා හා සම්මන්ත්‍රණ ආදියට ද සහභාගි වෙමින් ඇති කළ නව ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන නගර කීපයකම බෞද්ධ ආරාම හා සංගම් බිහි විය. විවිධ ක්ෂේත්‍ර වල මෙන්ම සරසවි වල වියත්තු ද බුදු දහම කෙරෙහි නැඹුරු වන්නට වූහ.

    ශාසනික කටයුතු වල සේම ශාස්ත්‍රීය කටයුතු වල නිරත වූ උන්වහන්සේ ස්කොට්ලන්ත එඩින්බරෝ සරසවියට ඉදිරිපත් කළ Studay of the Upasaka Janalankara නම් පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් ආචාර්ය උපාධිය හිමිකරගත්හ. 1966- 1969 කාලයේ කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ පාලි හා බුද්ධ ධර්මය පිළිබද මහාචාර්යවරයකු ලෙස ද, 1973 දී ඔක්ස්ර්ෆඩ් සරසවියේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කළ හම්මලව නාහිමි රචිත ශාස්ත්‍රිය කෘති ප්‍රමාණය 19 ක් පමණ වෙයි. ඒ අතරින් The Buddha’s way, Before He was Buddha, The life of siddhartha වැනි කෘති පෙරඅපර දෙදිග විද්වතුන්ගේ ගරු සම්භාවනාවට පාත්‍රව තිබේ. උන්වහන්සේ සිංහල, ඉංග්‍රීසි හා හින්දි යන භාෂා වලින් රචිත ලිපි ප්‍රමාණය ද සුලු පටු නොවන අතර උර්දු, ගුජරාටි, පන්ජාබ් වැනි භාෂා පිළිබදව ද උන්වහන්සේට තිබූණේ හසල දැනුමකි. එංගලන්තයේ පාලි ග්‍රන්ථ සමාගමේ උපසභාපති ධූරය හොබවමින් ග්‍රන්ථ සංස්කාරකවරයෙක් වශයෙන් උන්වහන්සේ මහගු මෙහෙවරක් ඉටු කරන ලදී. බුරුමයේ පැවති ඡට්ඨ සංගායනාවේ ධර්ම කථික පදවියක් ද දැරූ හම්මලව සද්ධාතිස්ස නාහිමියන්ගේ මෙම ශාස්ත්‍රිය සේවාව අගය කරනු වස් පේරාදෙණිය, විද්‍යොදය හා විද්‍යාලංකාර යන විශ්වවිද්‍යාල වලින් සාහිත්‍යසූරී ගෞරව උපාධිය ද මල්වතු මහා විහාරය විසින් මහාබ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ ප්‍රධාන සංඝනායක ධුරය ද පුදන ලදී.

    ජාතික කලා භවනේ තැම්පත් කොට ඇති උන්වහන්සේගේ සිතුවමකි

    සිය දිවි ගමනේ සැදෑ කාලයේ දී ගලයායේ පියදස්සී හිමියන්ගේ ඇප උපස්ථාන මධ්‍යයේ වැඩ සිටි උන්වහන්සේ වර්ෂ 1990 පෙබරවාරි මස 09 වැනි දා අපවත් වී වදාළ හ. උන්වහන්සේගේ අදාහනය පිළිබද කටයුතු විශාල ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් එංගලන්තයේ දී සිදු කරන ලදී. අනතුරුව එංගලන්තයේ කිංග්ස්බරි ජාත්‍යන්තර මධ්‍යස්ථානය මහාචාර්ය හම්මලව ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ගේ ශ්‍රී නාමයට උපහාර පිණිස ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය ලෙසින් නම් කළ අග්ගමහාපණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියෝ සෑම වසරකම සිය ආචාර්යන් වහන්සේගේ ගුණානුස්මරණය කරමින් පින්කම් මාලාවක් පවත්වනු ලබයි. එ් අනුව මහාචාර්ය හම්මලව නාහිමියන්ගේ 32 වන ගුණානුස්මරණ පිංකම මෙවර එංගලන්තයේ දී මෙම මස 19 වන සෙනසුරා දින මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් එක්සත් රාජධානියේ කිංස්බරි සිරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

    අපවත් වී වදාළ මහාචාර්ය හම්මලව ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරන අතර ම ගලයායේ පියදස්සි නාහිමියන්ට දිගාසිරි සම්පත් සැලසේවායි ප්‍රාර්ථනා කරමි.

    රුවන් වින්ඩ්සර්

    රුවන් වින්ඩ්සර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.