fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුණු දැමිල්ල අතහැර දැමූ බ්ලුමැන්ඩල් කුණු කන්දට වෙන්න යන‍ දේ..

    කුණු දැමිල්ල අතහැර දැමූ බ්ලුමැන්ඩල් කුණු කන්දට වෙන්න යන‍ දේ..

    කොළඹ බ්ලුමැන්ඩල් කසල කන්ද පිහිටි භූමිය සකස් කර එහි ශ්‍රී ලංකා වරාය ආශ්‍රිතව පුළුල් ගබඩා පහසුකම් සපයන නව ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    අනුව එහි ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ආයෝජනයකින් සංවර්ධනය කෙරෙනු ඇත.

    එම භූමිය රටේ ආර්ථිකයට ප්‍රතිලාභ ලබාදෙන නව ආයෝජන වැඩ පිළිවෙළකට කඩිනමින් දායක කරගන්නා ආකාරයේ ව්‍යාපෘතියකට යොදවන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙන ලදී.

    බ්ලුමැන්ඩල් කැළි කසල කන්ද හේතුවෙන් එම ප්‍රදේශයට වසර කිහිපයක් තිස්සේ විවිධ පරිසර ගැටළු මතු විය.

    එම කැළි කසල කන්ද එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවට මුල්ම සැලැස්ම ඉදිරිපත් කරන ලද්දේ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

    නමුත් පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී එම සැලසුම් ක්‍රියාත්මක නොවූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් පෙන්වා දෙයි.

    කොළඹ නගරය ලස්සන නගරයක් බවට පරිසර හිතකාමී ආකාරයෙන් සංවර්ධනය කිරීමට 2015 වසරට පෙර සිදුකළ ක්‍රියාමාර්ග යළි දියත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරයි.

    විෂය භාර අමාත්‍යවරයා ලෙසින් අග්‍රාමාත්‍යවරයා ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් නාගරික සංවර්ධන අධිකාරියට මේ බව දැනුම් දීමෙන් පසු එම අධිකාරිය ඉහත ආයෝජන ව්‍යාපෘතිය සකස් කර මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටියි.

    රජයට අයත් භාවිතයට නොගන්නා ඉඩම්, ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝ සහ කෙටි කාලීන කුලී බදු පදනම මත යොදවා ආර්ථික වාසි ලබාගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

    එම ක්‍රියාත්මක වැඩ පිළිවෙළට අනුව රජය, රාජ්‍ය ප්‍රතිපත්තිය මත පිහිටා රාජ්‍ය දේපළ පමණක් ආයෝජනය සිදුකරයි.

    පෞද්ගලික පොදු සහයෝගීතාව යටතේ සිදුකෙරෙන මෙම වැඩපිළිවෙළ තුළින් ආයෝජන සහ කුලී බදු යන අවස්ථා දෙක තුළින් ම ආදායම් මාර්ග රජයට හිමිවන බව නාගරික සංවර්ධන අධිකාරියේ දේපළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ අනුර ප්‍රසන්න මහතා පෙන්වා දෙයි.

    ටෙන්ඩර් කැදවීමෙන් තෝරාගන්නා අයෝජකයා පොදු සහ පෞද්ගලික සහයෝගීතාව යටතේ සිදුකරන ස්වකීය ආයෝජන මුදලින් පමණක්, දීර්ඝ කාලීන බදු පදනම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන කොන්දේසිය වේ.

    බ්ලුමැන්ඩල් කැළි කසල කන්දට මේ වන විට කසළ කිසිවක් බැහැර නොකරයි.

    සෙසු කොන්දේසි අතර, ආයෝජකයා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නියමයන්ට යටත්ව දැනට මෙම භූමියේ තිබෙන කැළි කසල වෙනත් සුදුසු ස්ථානයක දී ප්‍රතිචක්‍රීකරණය කළ යුතුයි.

    ඒ පිළිබඳව සකස් කළ වාර්තාවට අනුව බ්ලූමැන්ඩල් කැළි කසල කන්දේ දැනට පවතින කුණුවලින් 70% ක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව තහවුරු වී තිබේ.

    ඒ අනුව ප්‍රතිචක්‍රීකරණයට ලක්කළ නොහැකි කොන්ක්‍රීට්, බදාම, ගල් වැනි කොටස් කුඩුකර නැවත ඉදිකිරීම් සඳහා යොදාගත යුතුව තිබේ.

    ඉතිරි කොන්දේසි අතර ඉදිරි මාස 03 ඇතුළත මූලික වැඩ ආරම්භ කළ යුතු අතර මාස 18 කදී සියලු සංවර්ධන කටයුතු නිම කළ යුතුව තිබේ.

    ව්‍යාපෘතිය කාලය තුළ ගිවිසුමේ සඳහන් ආකාරයට බදු කුලිය අයෝජකයා විසින් ගෙවීම මෙහි අනෙක් කොන්දේසියයි.

    වෘත්තීය සුදුසුකම් ලත් බාහිර උපදේශකයන්ගේ සහාය ලබාගනිමින් නාගරික සංවර්ධන අධිකාරියේ දේපළ සංවර්ධන අංශය මෙහෙය වන මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

    වසර ගණනාවක් පැවති කොළඹ, බ්ලුමැන්ඩල් කැළි කසල කන්ද පිහිටි භූමිය සකස් කොට එහි සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම ගැන බ්ලුමැන්ඩල් ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සිය ප්‍රසාදය පළ කරති.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.