fbpx
තවත්
    මුල් පිටුවspecialතාප ප්‍රේරණය තාක්ෂණයේ අද කාලයේ ගෘහස්ථ යෙදවුම

    තාප ප්‍රේරණය තාක්ෂණයේ අද කාලයේ ගෘහස්ථ යෙදවුම

    බලශක්ති හීනතාවය මුළුතැන් ගෙට බලපෑ ඇති මෙවන් අවධියක ගෑස් උදුන් සඳහා විකල්ප වලට බොහෝ අය අද වනවිට යොමුවී තිබෙනවා. ඒ අතුරෙන් ප්‍රේරණ උදුන් (Induction stove) වලට බොහෝ පිරිසකගේ වැඩි නැඹුරුතාවයක් දක්වනවා.

    ප්‍රේරණය කියන වචනය කන වැකුනු වහා අපට මතක්වන්නේ භෞතික විද්‍යා පාඩමේ ඉගනගත් විද්‍යුත් චුම්භක ප්‍රේරණයයි. මෙහිදී වට දගරයක් තුලින් චුම්භකයක් දෙපසට චලනය කරවීමෙන් එම වට කොයිල් දඟරයේ විද්‍යුත්ගාමක බලයක් ඇතිවන බව වෙනත් ලෙසින් කිවහොත් ප්‍රේරණය වන බව ඉගෙන ගන්නට ඇත. ඉතින් මෙහිදී තියෙන්න ඕන මුලිකම කොටස් තුන වන චුම්භක ක්ෂේත්‍රයක්, සන්නායකයක් හා චලනයක් යන කොටස් තුන ඇති අතර ඉන් ඕනැම කොටස් දෙකක් තිබේනම් ඉතිරි කොටස ඉබේටම හට ගන්නා බවයි. ඒ වගේම මේ එක එකෙහි ප්‍රබලත්වය අවසාන ඵලයේ ප්‍රභාලතාවය මත රඳා පවතිනවා. 1831 දී මයිකල් ෆැරඩේ ගේ ප්‍රේරන න්‍යාය ලොවට ප්‍රථමවරට එළිදැක්වුනා. මීට සමගාමීව ලෙන්ස් න්‍යායන් හා මැක්ස්වෙල් සමීකරණ වලින් සෛධාන්තිකව ප්‍රේරණය විග්‍රහ කෙරෙනවා. මෙහි එක පැතිකඩක් තමයි තාප ප්‍රේරණය.

    තාප ප්‍රේරණය යනු දැල්ලක් රහිත වුද භෞතික ගැටීමක් රහිත වුද ලෝහ රත්කරන ක්‍රියාවලියක්. මේ සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරා ප්‍රභවයක්, ප්‍රේරන දගරයක්,විද්‍යුත් පරිපථයක් හා රත්කිරීමට බඳුන් වන යකඩ අඩංගු ඇලොයි කොටසක් යන කොටස් හතරක් මුලික වනවා. ලෝහ දගරයක් තුලින් සංඛ්‍යාතය වැඩි ප්‍රත්‍යාවර්ථ(වෙනස්වන) ධාරාවක් ගමන් කරවීමේදී දඟරය හරහා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඉබේටම ඇතිවනවා. දැන් මෙම දඟරය තුලට යකඩ අඩංගු ඇලොයි කොටසක් ඇතුල් කලවිට එහි පවතින විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය නිසා යකඩ අඩංගු ඇලොයි කොටස මත විද්‍යුත් චුම්බක බල හටගන්නවා. මෙහිදී සදහන් කලයුතු ප්‍රධාන දේ තමයි ප්‍රත්‍යාවර්ථ ධාරාවක් නොඑසේනම් දිශාව වෙනස්වන, සීග්‍රතාව වැඩි ධාරාවක් අපි යෝදාගන්නා නිසා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයද නිතැතින්ම වෙනස් වන එක. ඉතින් ෆැරඩේ න්‍යායන්ට අනුව වෙනස් වන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය නිසා අර කියන ලද යකඩ මිශ්‍රිත ඇලොයි කොටසේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව එඩි ලෙසින් හදුන්වන විද්‍යුත් ධාරා (Eddy current) හට ගන්නවා. වෙනත් ලෙසකින් කිවහොත් ප්‍රේරණය වනවා. මෙහිදී එඩි ධාරා නිසාත් වෙනත් අතුරු විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර ජනිතවෙනවා. දඟරයේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රට පටහැනිව ඒවා ක්‍රියා කිරීමෙන් ඇතිවන ප්‍රතිරෝධයෙන් තමයි යකඩ අඩංගු ඇලොයි කොටසේ රත්වෙන්න ගන්නේ.

    යකඩ මිශ්‍රිත ලෝහ බඳුන් වලට හැරෙන්නට වෙනත් භාජන වලට ප්‍රේරණ උදුන ක්‍රියාකාරී වන්නේ නැහැ. ඉතින් ධාරාව සන්නයනය වන චුම්භකයකට අනුගත නොවන උදුන් පමණයි මේ සඳහා භාවිතා කල හැක්කේ. ප්‍රේරණ උදුනක සාමාන්‍යයෙන් තාප හුවමාරු වන සීඝ්‍රතාවය  සියයට හැටක් (60%) වන අතර ගෑස් උදුනක නම් 15% ක් බවයි කියවෙන්නේ. දැලි අඟුරු කොටස් නැති ඉවුම් පිසුම් කර ගැනීමට ප්‍රේරණ උදුන් භාවිතයෙන් හැකිවනවා. තවත් කාරණයක් තමයි ගෑස් උදුනකට සාපේක්ෂව ඒකාකාරීව තාපය පැතිරීමේ වාසිය.

    සිද්ධාන්තය මෙසේ වුවද වෙළදපලේ ඇති ප්‍රේරණ උදුන් සදහා යොදාගැන්නේ ඉලෙක්ට්‍රොනික් පරිපථයක්. මේ පරිපථය බලගැන්වීම සදහා ගෘහස්ථ 240 වෝල්ටීයතාවය භාවිතා කරනවා. එම වොල්ටියතාවය භාවිතයෙන් 5V, 18V, 300V වැනි අනෙකුත් වොල්ටීයතා උත්පාදනය කරගන්නේ ෆෑන් එක, කොන්ටෝල් පරිපථය, මයික්‍රෝ  කොන්ටෝල් කොටස හා දඟර කොටස් බලගන්වා ගැනීමයි. IGBT ට්‍රාන්සිස්ටර (insulated-gate bipolar transistor) උපයෝගී කරගනිමිනුයි අධි වෙගිව ප්‍රත්‍යාවර්ථ ලෙස දගරයට ධාරාව සපයන්නේ. සාමාන්‍යයෙන් IGBT ට්‍රාන්සිස්ටර යොදාගැනෙන්නේ අධි වොල්ටියතා මෙවලම් වල නිබඳව වෙනස්වන සංඛ්‍යාත ඇති ධාරා ස්විච් කිරීමටයි.

    IGBT කොටස ස්විච් කිරීමට නම් ම්යික්රෝකොන්ට්‍රෝල්(MCU) කොටසෙන් පල්ස් එකක් නැතහොත් ධාරාවක් නිකුත්කලයුතු වනවා.

    ප්‍රේරණ උදුනේ අභ්‍යන්තර සැකැස්ම
    Source: https://www.ifixit.com/Answers/View/421262/How+to+repair+this+failed+induction+cooker

    ප්‍රේරණ උදුනේ පරිපථ සටහන
    Source: https://www.electronicsforu.com/resources/induction

    මයිකොන්ට්‍රෝල් කොටසෙන් සඥාවක් නිකුත්කිරීමට නම් DC වොල්තීයතාවය, IGBT උෂ්ණත්වය, දගරයේ ඉහල පවතින උෂ්ණත්වය, පල්ස් ඩිටෙක්ටරයේ සඥාව වැනි බොහෝ  සාධක වල අවශ්‍යතාව සම්පූර්ණ වියයුතු වනවා. ඉතින් මේවා සියල්ලම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික් පරිපථ කොටස මගිනුයි.

    මිට අමතරව වෙළඳපලේ දකින්නට ලැබෙන බොහෝ ප්‍රේරණ උදුන් වල භාජන පතුලේ විෂ්කම්භය සෙන්ටිමීටර 12 හේ සිට 24 දක්වා උදුන් භාවිතා කිරීමේ හැකියාවක්පවතිනවා.  මේ වාගේම මේ දිනවල තවත් ප්‍රචලිව ඇති වෙළදපලේ දක්නට ලැබෙන උදුන් වර්ගයක් තමයි අධෝරක්ත උදුන් (Infra red cooker). අධෝරක්ත උදුන් වල ඕනෑම බදුනක් රත්කරගත හැකිවුවද ප්‍රේරණ උදුන් වලට සාපේක්ෂාව ශක්ති හානිය ඉහලයි. ඒ නිසා විදුලිය අපතේ යාමක් සිදුවෙනවා. ඝනකම අඩු ලෝහ බදුන් ප්‍රේරණ උදුන් හරහා රත්කරද්දී පිච්චෙන ගතිය ඉහලයි. ඒ වාගේම  පේස් සේටර් (phase setter) උපකරණයක් ශරීරය තුල ඇති හෘද රෝගීන්ට නම් ප්‍රේරණ උදුන් භාවිතය  හානිදායක විය හැක්කේ එහි භාවිතා වන වෙනස්වන චුම්භක ක්ෂේත්‍ර නිසයි. ගෘහස්ථ උදුන් සඳහා මෙම තාක්ෂණය හාවිතා උවත් යකඩ දැඩි කිරීම, යකඩ තියුණු  කිරීම, වෙල්ඩින් කිරීම, බ්‍රේස් කිරීම, ඇනීල් කිරීම, හැකිලීම, මතුපිට යකඩ ආවරණ ඉවත් කිරීමට  වගේම උණු කිරීම යන කාර්යන් සදහා ඇති යාන්ත්‍රික උපකරණ  නොයෙක් කර්මාන්ත වලට යොදාගන්නවා.

    අධි තාපයට ඔරොත්තුදෙන රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් කර්මාන්තශාලාවක තාප ප්‍රේරණය තාක්ෂණය යොදාගන්නා අවස්තාවක්.

    ආචාර්ය ආර් චින්තක එල් ද සිල්වා

    ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ-කාර්මික තාක්ෂණ ආයතනය
    සාමාජික: ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS)
    ශ්‍රී ලංකා භෞතික විද්‍යායතනය (IPSL)

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.