fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්(Exclusive) බොරැල්ල පල්ලියෙන් හමුවූ බෝම්බය ගැන විශේෂ අනාවරණයක්

    (Exclusive) බොරැල්ල පල්ලියෙන් හමුවූ බෝම්බය ගැන විශේෂ අනාවරණයක්

    බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී ඊයේ සවස සොයාගත් අත්බෝම්බය නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී මෙයට පෙර සොයාගත් බෝම්බ ඇටවුමට සමාන ඇටවුමක් බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් කණ්ඩායම් සඳහන් කරයි.

    නාරාහේන්පිට රෝහල් වැසිකිලියේ ඇටවූ අත්බෝම්බය කාල බෝම්බයක් ලෙස පරිවර්ථනයකර තිබුණේ මදුරු දගරයක් යොදාගෙන වූවත් දේවස්ථානයෙන් හමුවූ බෝම්බය කාල බෝම්බයක් බවට පරිවර්ථනය කර ඇත්තේ හදුන් කූරකින් බවත් ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලින් හෙළිවී තිබේ.

    අත්බෝම්බයේ පින් එක ඉවත්කර එහි අගුල සිරකර රබර් පටියක් බෝම්බය වටා ඔතා එම රබර් පටිය වටා ගිනිකූරු රැසක් සිරකර තිබී ඇත. හදුන්කූර දැල්වී ගොස් ගිනි කූරුවලට ගිනි ඇවිලී රබර් පටිය දියවී අගුල් ලිහිල් වීමෙන් බෝම්බය පුපුරා යන ආකාරයට මෙම ඇටවුම සකස්කර තිබී ඇතැයි පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂඥයෙක් පැහැදිලි කළේය.

    මෙවැනි ඇටවුමක් කිරීමට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මනා පුහුණුවක් අවශ්‍ය බවත් ඇටවුම කරන පුද්ගලයාට දැඩි ආත්ම විශ්වාසයක් තිබිය යුතු බවත් එම විශේෂඥයා පැවැසීය. පුපුරණ ද්‍රව්‍ය නිතර අතපත ගාන ආරක්ෂක අංශ සාමාජිකයන් පවා මෙවැනි ඇටවුම් කිරීමේදී ඒ සම්බන්ධයෙන් දෙවරක් සිතන බවද ඔහු කීය.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම බෝම්බය නිෂ්ක්‍රීය කරීමට පියවර ගෙන ඇත.

    දේවස්ථානයට ඇතුළුවන ප්‍රධාන දොරටුවට දකුණු පසින් පිහිටි සුරුවම අසල මෙම බෝම්බ ඇටවුම තිබී ඇති අතර එය ඊයේ සවස දැක ඇත්තේ දේවස්ථානයේ රැදී සිටි පිරිසකි.

    දේවස්ථානයේ ආරක්ෂක කැමරා පද්ධතියක්ද තිබෙන අතර එම ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලීසිය ඒ වන විට දේවස්ථානයේ රැදී සිටි තිදෙනෙක් ප්‍රශ්න කිරීමට සිය භාරයට ගෙන තිබේ. ඒ අය අතර මෙම බෝම්බය සුරුවම අසල තිබෙන දුටු අයද සිටින බව පොලීසිය කියයි.

    උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ පොලිස් භාරයේ රදවා සිටින එක් සැකකරු සම්බන්ධයෙන් බරපතල සැකයක් මේ වන විට ඇතිවී තිබෙන බවය. එම තරුණයා පොලිතින් බෑගයක ඔතාගෙන පැමිණි යමක් තවත් අයෙකුට ලබාදෙන ආකාරයක් සහ එය සුරුවම අසල තවත් අයෙක් තබන අයුරු එම ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන බවද එම නිලධාරියා කීය. එහෙත් තමන් එවැනි බෝම්බයක් එහි නොතැබූ බව එම සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ දිගින් දිගටම පවසන බව ද එම නිලදාරියා පැවසීය.

    ඒ එක් සැකකරුවෙක් අවුරුදු 18 ක් තිස්සේ දේවස්ථානය හා සම්බන්ධව සිටින දේවස්ථානයේ පිහිටි දහම් පාසලේද ගුරුවරයෙක් බව පොලීසිය කියයි. එම සැකකරු මරදානේ පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.