fbpx
තවත්
    මුල් පිටුවspecialමල්වර විය හා බැඳුණු විවිධ මත

    මල්වර විය හා බැඳුණු විවිධ මත

    අදහස් දැක්වීම – වෛද්‍ය පියුම් වානියා ජයවර්ධන රක්වාන ආයුර්වේද රෝහල

    යුවතියක් මල්වරව්යයට පත් වූ පසු වැඩිහිටි උපදෙස් හා විවිධ සමාජ මත වලට ඇයට මුහුණ දීමට සිදු වෙනවා මේ දවස් වලට තෙල් කෑම කන්න එපා, ඔසප් හැදුණු මුල් දින 2 නාන්න එපා වැනි උපදෙස් ලැබෙනවා. මෙවැනි මත හා උපදෙස් වල සත්‍යතාවයක් තියෙනවද යන්න අවධානය යොමු කිරීම වැදගත්.

    1. මේ දිනවල ස්නානය කිරීම සුදුසුද?

    ආයුර්වේද මතය අනුව මේ දින වල සීත ජලය ස්නානය කිරීමෙන් ගර්භාෂය, ඩිම්බකෝෂ ආශ්‍රිත පවතින වාත දෝෂය කුපිත වීම හේතුවෙන් ඔසප් ලෙය නිසි පරිදි යෝනි මාර්ගයෙන් බැහැර නොවීම සිදු වන්න පුළුවන්. බැහැර නොවන ඔසප් ලෙය ඉහළට ගමන් කර පසු කාලීනව ගර්භාෂ ගෙඩි, ඩිම්බ කෝෂ වල රෝග හා ගර්භාෂ ගත වෙනත් රෝග තත්ව හටගන්නවා.

    විශේෂයෙන් නැවත ඔසප් වීමේදී අධික වේදනාව සහිතව ඔසප් වීමත් මේ හේතුව නිසා සිදුවීමට පුළුවන්. ඔසප් ලෙය ඉහළට ගමන් කර යම් යම් රෝග තත්වයන් ඇති කරන නිසාවෙන් ඔසප් මුල් දින වල ස්නානය කිරීම “ඉහට ගහනවා ” කියන මතය සමාජගත වෙලා තියෙන්නේ එබැවින්.

    2. ඔසප් දිනවල දැනෙන සාමාන්‍ය අපහසුතාවලදී යුවතියන් පුරුදු වෙලා තියෙනවා වේදනා නාශක ගැනීමට, මේ හරහා සමාජය තුළ මතයක් තියෙනවා දරුඵල නොලැබීයාමට එය හේතුවක් බව

    බොහෝ යුවතියන් ඔසප් දින වල හටගන්නා සාමාන්‍ය වේදනාවට පවා වේදනා නාශක ඖෂධ භාවිතයට යොමු වීම පුරුද්දක් කරගෙන තියනවා. නමුත් වේදනා නාශක ඖෂධ නිරතුරුව ගැනීම හරහා අයහපත් ප්‍රතිඵල එන්න පුළුවන්. සුළු වේදනාවකදී ඖෂධ ගැනීම හරහා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයකදී එන අපහසුතා යටපත් වී යාමට පුළුවන්. එමඟින් පසුකාලීනව දරු ඵල ප්‍රමාද වීම, දරු ඵල අහිමි වීම හෝ ශල්‍යකර්ම සඳහා යොමු වී ගර්භාෂ, ඩිම්බකෝෂ ඉවත් කිරීමට පවා හේතු කරණා වන්නට පුළුවන්.

    ඔසප් දින වල පවතින සුළු අපහසුතා සඳහා

    බැදපු කොත්තමල්ලි කුඩු තේ හැඳි 01 ක් දිනපතා පානයක් ලෙස භාවිතා කිරීම සුදුසුයි. එමෙන්ම ශාරීරික පිරිසිදුවීම් හා නිසියාකාර සනීපාරක්ෂක තුවා, පිරිසිදු යට ඇඳුම් භාවිතය ඉතා වැදගත්. ඔසප් දිනවල යම් යම් ගැටලු ඇති වුවහොත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්

    3. තෙල් සහිත ඇඹුල් අධික ආහාර පාන මේ දින වල ගැනීම සුදුසුද ?

    මල්වර වී තෙමසක් කාලයක් යනතුරුත් මස්, මාළු, බිත්තර තෙල් සමඟ පිස ආහාරයට ගැනීමත්, එළවළු තෙල් දමා සැකසීමත් නොකළ යුතු යන්න මතයක් පවතිනවා.

    එයට හේතුව තෙල් පිළි ආහාර මල්වර වීම, ඔසප් වීම වැනි සිරුර දුර්වල අවස්ථාවකදී භාවිතය නිසා නොයෙකුත් අමනුෂ්‍ය දෝෂයන් සිරැරට ඇතුළු වන බවට මතයක් පවතිනවා.

    ඒ වගේම තෙල් ආහාර අධිකව නිරන්තර ගැනීම නිසා මේදය තැන්පත් වීම හරහා ස්ථුලතාවය වැනි වෙනත් රෝග ඇති වීමට පුළුවන්. ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇති වීමට ද එය හේතුවක් වෙනවා. නමුත් සිරුරට රක්ත නිෂ්පාදනයට අවශ්‍ය යකඩ අවශෝෂණය සඳහා ඇඹුල් රස මඳ වශයෙන් හෝ ආහාරයට ගත යුතුයි.

    එමෙන්ම ඔසප් දිනවල ඇතිවන ශාරීරික දුර්වලතාවයන් මඟහරවා ගැනීමට උෂ්ණාධික නොවන පතෝල, වැටකොළු වැනි එළවළු, මාළු, බිත්තර, එළ කිරි, ධාන්‍,ය පළතුරු සහිත සමබල ආහාර වේලක් ලබා ගැනීම මෙන්ම හොඳින් ජල පානය කිරීම, ඖෂධිය කොළ කැඳ පානය(භාතාවාරිය නීරමුල්ලිය, ඉරමුසු) රණවරා, බෙලිමල් වැනි ශරීරය සිසිල් කරන පාන භාවිතය ඉතා සුදුසුයි. එතුළින් වාත පිත් දෝෂ සමතුලිත වීම සිදුවනවා.

    4. ඔසප් දිනවල ගොම්මනේ තනිවම ගමන් යාම හොඳ නැතැයි පිළිබඳ මතයක් සමාජයන වී තියෙනවා

    ගොම්මන් වෙලාවට, ඉර මුදුන් වෙලාවට “පාළු තැන් වලින් තනිවම” ගමන් කිරීමත් මල්වර වූ විට තනිවීමත් තුළ කළු කුමාර දෝෂය වැහෙන බවට මතයක් තියෙනවා. ඒ සියල්ලට හේතුව විය හැක්කේ රක්ත ධාතුව ශරීරයෙන් බැහැර වන අවස්ථාවක සිරුරෙ ප්‍රතිශක්තිය දුර්වල වන බැවින් අමනුෂ්‍ය බලපෑම් සිරුරට ග්‍රහණය වීමේ හැකියාව වැඩි වන බැවිනි. කෙසේ වෙතත් සමාජ මතය වන්නේ කළු කුමාර දෝෂය නිසා යුවතියකට දරුවන් පමා වීම, දරුඵල අහිමි වීම්, වරින්වර ගබ්සා වීම් හෝ යම් යම් අඩුපාඩු සහිත දරුවන් බිහි විය හැකි බවයි.

    යම් යම් භූතදෝෂ බලපෑම් කාන්තා රෝග තත්වයන් ඇති වීමට හේතු වන බව ආයුර්වේදය තුළ ද සඳහන් වනවා. එවැනි රෝග නිසා දරුඵල අහිමි වන බවත් දක්වා තිබෙනවා.

    5. අපේ සමාජයේ මල්වර වූ යුවතියක් තනිවම කාමරයක ස්නානය කරන තෙක් තබනවා. ඒ වගේම ඒ කාමරය තුළ යකඩ උපකරණයක් පවා තියෙනවා

    ගිරයක්, දෑකැත්තක් වැනි ආයුධයක් යුවතිය සිටින කාමරයයෙහි තැබීම මල්වර වූ දැරියගේ තනිකම නැති කිරීම සඳහා අපේ පැරන්නන් භාවිතා කරන්නා වූ ක්‍රම වේදයක්. එය අපේ සංස්කෘතිය හා බැඳුණු ක්‍රමයක් මිස ආයුර්වේදය හා සම්බන්ධයක් නොදක්වයි.

    6. ඒ වගේම මල්වර නැකත් අනුව නා ගෙට ගන්නකම් පියා, වැඩිමහල් වෙනත් පිරිමි බැල්මක් නොපෙනෙන සේ කාමරයක තබයි.

    මේ වත් පිළිවෙත් අපේ සංස්කෘතිය හා බැඳුණු චාරිත්‍රයන් නිසා අදටත් මල්වර උත්සව හා බැඳුණු චාරිත්‍ර එලෙසම සිදු කරයි. මල්වර දියණියගේ නව අත්දැකීම් සමඟ ජීවිතයට මුහුණ දෙන අයුරු මව්වරු, වැඩිහිටි කාන්තාවන් එක්ව අවවාද/ උපදෙස් ආදරයෙන් ලබා දීම ඉතා වැදගත්. ආයුර්වේදයට අනුව මල්වර දියණියගේ මුහුණ ප්‍රසන්න වීම, පියයුරු, උකුල පුළුල් වීම් වැනි ද්විතීයික ලිංගික ලක්ෂණ වර්ධනය පුරුෂ පාර්ශවයේ ආකර්ෂණය වැඩිවීම සිදුවන්න පුළුවන් එබැවින් මෙතැන් සිට තමන් විවාහයට පවා සුදුසු බව ඒත්තු ගැන්වීමට මේ කාලය කාමරයක තැබීම සිදු කරයි. උත්සවශ්‍රීයෙන් සමාජයට දැනුම් දෙන්නේද එබැවින්. කෙසේ වුවද පාරම්පරික සම්ප්‍රදායන් රැකගත යුතු වුවත් එමඟින් ඔබට, ඔබේ දියණියට සිදුවන්නේ අයහපතක් නම් සම්ප්‍රදාය පමණක් නොසලකා වෛද්‍ය විද්‍යාත්මක කරුණු ද සලකා බලා කටයුතු කිරීම වැදගත් බව කිව යුතුමය.

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.