fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්භාණ්ඩ මිල ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කියන දේ

    භාණ්ඩ මිල ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කියන දේ

    භාණ්ඩ මිල තවත් ඉහළ යා හැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

    මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ පූර්ණ අධීක්ෂණය මත ඉදිකිරීම් කටයුතු සිදු කරන බඩගමුව වාහන නැවතුම් අංගනය සහ සෞඛ්‍යය පහසුකම් සේවා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වල වත්මන් තත්ත්වය පිලිබදව සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ බව සඳහන් කළේය.

    ”භාණ්ඩවල මිල තවත් වැඩිවෙයි. වසංගත තත්ත්වයෙන් මිදෙනකම් මේ අභියෝගයට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. බුද්ධිමත් ජනතාව මෙය තේරුම් ගත යුතුයි. කවුද කැමති භාණ්ඩවල මිල වැඩි කරන්න. මේක හැම ජන කොටසකට ම බලපාන දෙයක්. අකමැත්තෙන් උනත් අපි සියලු දෙනාම රැකිලා යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි තෙල් මිල වැඩි නොකළා නම් විශාල වශයෙන් ඛනිජ තෙල් ආයතනයට පාඩු ලබන්න සිදු වෙනවා . ඒ පාඩුව පියවා ගන්න සියලු දෙනාගෙන්ම බදු අය කර ගන්න සිදු වෙනවා. වාහන පාවිච්චි නොකරන අයටත් එම බදු දරාගන්න සිදු වෙනවා. පාඩුව පියවා ගන්න බදු ගහපුවාම වාහන නැති මනුස්සයටත් බදු ගෙවන්න සිද්ධ වෙනවා. එම නිසා අකමැත්තෙන් උනත් මේ තීරණ ගන්න අපිට සිදු වුනා.” යැයි එහිදී ඇමතිවරයා පැවසුවේය.

    අධිවේගී මාර්ගවල මාර්ග වල සිදුවන රිය අනතුරු සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා

    ”අධිවේගී මාර්ගයේ පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ අනෙකුත් මාර්ග වලත් දිනකට දළ වශයෙන් මාර්ග අනතුරු වලින් අට දෙනෙක් පමණ් මරණයට පත්වෙනවා .ඒක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. ලෝක බැංකුවත් අපිට ආධාර කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා මේක අවම කරන්න කටයුතු කරගන්න. ඊළඟ අවුරුදු දෙකේදී අපි විශේෂ වැඩපිළිවෙළක් යොදලා තියෙනවා අනතුරු අවම කරන්න. සිදු වන අනතුරුවලිනුත් අවම අනතුරු සංඛ්‍යාවක් දක්වා එය අඩු කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ජනවාරි දෙවැනි සතියේදී එම වැඩසටහන ආරම්භ කරනවා. අපි දැකලා තියෙනවා ගොඩක් අය නින්දට ගිහිල්ලා අනතුරට පත්වෙන අවස්ථාවන්. ඒ නිසා පලමුව අපි දඹුල්ලෙන් එහා රෙස්ට් ඒරියා එකක් හදන්න කටයුතු කරනවා . වාහන නතර කරලා ටිකක් නිදාගෙන ඉඳලා යන්න පුළුවන් තැන් හදන්න රක්ෂණ සංස්ථා ටිකත් එකතු කරලා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා ඊලඟ අවුරුදු දෙක තුළ . එමගින් දැනට තියන අනතුරු ප්‍රතිශතය සියයට 90 කින් පමණ අඩුකරන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එමගින් අපේ තරුණ ජීවිත ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි රජයෙන් අනතුරුවලට පත්වන අයට වෙනුවෙන් දරනවියදම් පවා ඉතුරු වෙනවා. ඒ නිසා එම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

    ඉන්ධන මිල ඉහල යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා …..

    ”මේ මුළු ලෝකයම කොවිඩ් වසංගතය නිසා පීඩා විදිනවා. ප්‍රබල රටවල් වල පවා ජීවන වියදම ඉහළ ගිහින්. භාණ්ඩවල මිල ඉහළ ගිහින්. නමුත් අපි කොහොමහරි වසංගත කාලයේ භාණ්ඩ වල මිල වැඩි නොකර ආර්ථිකය ස්ථාවර කරගෙන ආවා. නමුත් අපිට සිද්ධ වුණා අකමැත්තෙන් උනත් මේ තීරණය ගන්න. වෙන විකල්පයක් තිබුණේ නැහැ.”

    ෙශ්‍රීලංකාවේ දැනට භාවිතා කරන ගැස් වල සංයුතිය ගැනත් එයින් මතු වී නිබෙන ප්‍රශ්න ගැනත් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ….

    ”ගෑස් සම්බන්දයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒක කණගාටුදායක තත්වයක්. මේ ගැන සෙවිය යුතුයි. මෙහි කඩාකප්පල්කාරී ව්‍යාපාරයක් තියෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. නමුත් රජයක් හැටියට අපිට එහෙම කියලා අත ඇරලා දාන්න බැහැ. මේ ඇවිත් තියෙන නැව් ගැන බලලා සහතික අරගෙන ඒ ගැන සොයා බලන්න අවශ්‍යයි. මේ අලුත් අවුරුද්දක් ලබන කාලේ ජනතාවට දුක් විඳින්න ඉඩ දෙන්න හොඳ නැහැ. මම දකින්නේ මේක එක්එක්කෙනාගෙ අඩුපාඩු නිසා වුන දේවල් කියලා.”

    හවුල්කාර පක්ෂ ආණ්ඩුව හැරයන්න සූදානමක් පවතිනවා යැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ….

    ”ඒවා ගැන මම දන්නේ නැහැ. ඒක ඒ අයගෙන් තමයි අහන්න වෙන්නේ. ඕන කෙනෙක්ට යන්න පුළුවන් කිසි ගැටළුවක් නැහැ. නමුත් අපි යනවට කැමැති නැහැ. ඒ අය ගියා කියලා ආණ්ඩුව වැටෙන්න ඉඩ දෙන්නෙත් නෑ. ගියොත් එහෙනුත් අපි ගන්නවා. කොවිඩ් නිසා හෙමින් ගමනක් අපි අරගෙන ගියත් ආණ්ඩුව ඇතුලෙන් ගත ගත යුතු පියවර අපි නිසි ලෙස ගන්නවා. ආණ්ඩුවෙන් යන්නත් ඉඳීයි. ආණ්ඩුවට එන්නත් ඉදයි. අපි උපක්‍රමශීලීව ඒ දේවල් කර ගන්නවා මිසක් අඬබෙර ගහන්නේ නැහැ.”

    රටේ විදේශ සංචිතය අඩු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ….

    ”විදේශ සංචිත නැතිවුනොත් වෙන්නේ ආණ්ඩුව වැටෙන එක . නමුත් අපි එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපි ට ඉතාමත් දක්ෂ ලෙස ආණ්ඩුව හසුරවගන්න පුළුවන්. විදේශ සංචිතය නැතිවෙන තරමට විපක්ෂය කැමතියි. අනුරගේ කල්ලියයි ප්‍රේමදාසගේ කල්ලියයි ආණ්ඩුව වැටෙනකන් දවල් හීන බලනවා. මේ රටේ මිනිස්සුන්ගේ මිල වැඩිවෙන තරමට විපක්ෂය කැමතියි. මොකද කියනවනම් එතකොට ඔවුන්ගේ පැත්තට ජනතාව හැරිලා ඔවුන්ට ඡන්දය ලබා දීලා ආණ්ඩු බලය ගන්න පුළුවන් කියලා ඒ අය හිතන නිසා. මම දැක්කා එක මුස්ලිම් මහත්මයෙක් වීඩියෝ එකක් හදලා පළ කරලා තියෙනවා බැංකුවලින් ඉක්මනට සල්ලි අරගන්න, මේ රට බංකොලොත් වෙන්න යන්නේ කියලා. මේ සියලු දේ පිටිපස්සේ ඉන්නේ විපක්ෂයයි. එයාලට වුණත් බලයට පත්වෙන්නේ රටක් තියෙන්න ඕන කියලා විපක්ෂය හිතන්නේ නැහැ. විපක්ෂයට අපිත් එක්ක එකතු වෙලා මේ රට ගොඩ ගන්න ඕන කියන එ අවශ්‍යතාවය ඒ අයට නැහැ. ඔවුන්ගේ ප්‍රාර්ථනාව කොහොමින් හරි මේ රට විනාශ වෙලා යන එක. නමුත් අපේ ප්‍රාර්ථනාවත් ජනතාවගේ ප්‍රාර්ථනාවත් ඒක නෙවෙයි. මේ රටේ ආර්ථිකය මීට වඩා දියුණු වෙලා තියනවා දකින එක තමයි අපේ ප්‍රර්ථනාව. අපේ ජනාධිපතිතුමා නිවැරැදි තීන්දු තීරණ අරගෙන මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරමින් මේ රට හොඳ රටක් බවට නිර්මාණය කරයි කියලා විශ්වාස කරනවා. ලෝකයක් හැටියට මේ ව්‍යසනයෙන් අපිට මිදෙන්න පුළුවන් වෙනවා.”

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.