fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මාගම් වරාය ගැන...

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මාගම් වරාය ගැන කියූ දේ

    “මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය“ මෙරට දකුණු කලාපයේ ආර්ථික සංවර්ධනය දීප්තිමත් කරනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා සදහන් කරයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති ඇගයීම සඳහා බහුවිධ නිරීක්ෂණ චාරිකාවකට ඉකුත් 14 වෙනිදා එක්වූ අවස්ථාවේදී ජොන්සන් ලියූ මහතා එසේ සඳහන් කරනු ලැබීය.

    “මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය“ පරීශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා හරසරින් පිළිගනිමින් “මෙම විශේෂ අවස්ථාවට අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහභාගි වීම පිළිබඳව මාගේ අවංක සතුට පළ කිරීමට කැමතියි. ඔබගේ මගපෙන්වීම සහ දූරදර්ශී නායකත්ව යටතේ සංවර්ධනය වූ වරායේ ප්‍රගතිය සහ සාර්ථකත්වය අද අපි අත්විඳින අතර, මෙම වරාය දැන් ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ ආර්ථික සංවර්ධනය දීප්තිමත් කරනු ඇත”. යැයි සඳහන් කළේය.

    අග්‍රාමාත්‍යවරයා සමඟ අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, සහ නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    2021 දී වරාය විසින් රෝරෝ වාහන 500,000ක් හැසිරවීමේ සන්ධිස්ථානය කරා ලඟා වීමත් සමගම සිදු වීම සුවිශේෂිත්වයක් වූ අතර ඔහු ඒ වෙනුවෙන් පීත්ත පටිය කැපීමේ උත්සවයකට ද අග්‍රාමාත්‍යවරයා සහභාගී විය.

    අග්‍රාමාත්‍යවරයා තම සංචාරය අතරතුර වරායේ ප්‍රථම බන්ධිත ගුදම් ව්‍යාපෘතියට මුල්ගල තැබූ අතර, ඉන් අනතුරුව වරාය කණ්ඩායම සමඟ ලංකා ටයර් නිෂ්පාදන පුද්ගලික සමාගම (Ceylon Tire Manufacturing Company) සහ ෂින්ජි ෂෙන්ෂෙන් සමූහය (Xinji Shenzhen Group) විසින් ඉදිකරනු ලබන කර්මාන්තශාලා ගොඩනැගිලි නිරීක්‍ෂණය කිරීමට ද එක්විය. එක්සත් ජනපද ඩොලර් මිලියන 300 ක ආයෝජනයක් වන ටයර් නිෂ්පාදන ප්‍රදේශය ස්ථාවර කිරීම සඳහා වරාය විසින් ආරම්භ කරන ලද භූමි බෑවුම් ආරක්ෂණ ව්‍යාපෘතියද අග්‍රාමාත්‍යවරයාගේ විමසුමට ලක් විය. හෙක්ටයාර 55.8ක භූමි ප්‍රමාණයක ඉදි වන මෙම ව්‍යාපෘතියේ II අදියර සඳහා අක්කර 16ක ඉඩ ප්‍රමාණයක් වෙන් කොට ඇත. වාර්ෂිකව බහාලුම් ඒකක 30,000ක් අපනයනය කිරීමට කැපවී සිටින අතර මෙම ව්‍යාපෘතිය තුළින් රැකියා අවස්ථා 3000කට වැඩි ප්‍රමාණයක් බිහි කිරීමට අපේක්ෂා කෙරේ. සැහැල්ලු කර්මාන්ත සඳහා ‘එක් නැවතුම්’ සේවා (One Stop Services) සැපයීමේ අධි තාක්‍ෂණික පහසුකමක් වන ෂින්ජි සමූහයට අයත් පිරිනිමි (Plug and Play) කලාපයක් තුළ කලාපයක් (Park in Park) පහසුකම හෙක්ටයාර් 3.07 ක භූමි ප්‍රමාණයක ඉදිකෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආයෝජනයක් වන අතර එමඟින් රැකියා 500 ක් පමණ නිර්මාණය වනු ඇත.

    හම්බන්තොට වරාය කර්මාන්ත උද්‍යානයේ ප්‍රධාන සැලැස්ම පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු, මහතා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දැනුවත් කරන ලදි. එමෙන්ම, ග්‍රාමීය සංවර්ධනය අරමුණු කරගෙන සත්ව පාලනය සහ කෘෂිකර්මාන්තය තුළින් අවට ප්‍රජාවන්ට ප්‍රතිලාභ සැලසීම සඳහා වරාය විසින් ආරම්භ කරන ලද නව අපේක්ෂාවේ ගම්මානය (Hope Village) ව්‍යාපෘතිය වැනි යෝජනා ක්‍රම රැසක් පිළිබඳ විස්තර සැපයීමද සිදු කළේය. HIPGහි දැක්ම වන්නේ තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා පරිසරය සහ පුද්ගලයින් සංවර්ධනය කිරීම තුළින් ධනාත්මක වෙනසක් ඇති කිරීම මෙන්ම මිනිසුන් සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමයි. ඒ අනුව වරාය විසින් 2018 වසරේ සිට ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති 43 ක් සිදු කර ඇති අතර, ප්‍රාදේශීය ප්‍රජාවගේ උන්නතිය සඳහා මිලියන 80ක් පරිත්‍යාග කර ඇත.

    හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ 12 වැනි මහලේ පැවති උත්සවයකින් අනතුරුව සංචාරය අවසන් වූ අතර එහිදී HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සියලුම සංවර්ධන කටයුතු පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක් අගමැතිවරයාට ඉදිරිපත් කරන ලදි.

    කලම්බු ලොජිස්ටික්ස් ගෲප්හි (Colombo Logistics Group) ගබඩා අංශය වන හම්බන්තොට පොර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් සර්විසස් (පෞද්) සමාගම (Hambantota Port and Logistics Services) වරායේ නව ගබඩා සංකීර්ණය ඉදි කරන අතර, එය හෙක්ටයාර් 1ක භූමි ප්‍රමාණයක ගොඩනැගෙයි. HIPහි ගබඩා පහසුකම් ඉදි කිරීම සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රථම දේශීය ආයෝජකයා වන කලම්බු ලොජිස්ටික්ස් ගෲප්, රටේ ලොජිස්ටික්ස් අංශයේ වේගවත් ව්‍යාප්තිය සඳහා උරදෙන මහා පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීමේ වසර 14 ක පළපුරුද්දක් සහිත කීර්තිමත් ආයතනයකි.

    නව ගබඩා පහසුකම ඉදි කිරීමෙන් පසුව, එය HIPහි දේශීය පොහොර බෙදා හැරීමේ සහ ප්‍රතිනැව් ගත කිරීමේ සැලසුම් වර්ධනය කිරීමට දායක වනු ඇත.
    HIP හරහා ප්‍රතිනැව්ගත කරන ලද භාණ්ඩ ගෙන ඒම සඳහා රෝ රෝ හසුරුවන සමාගම් සමඟ හවුල්කාරිත්වයන් ඇති කරගැනීම හා ඵලදායී නව උපාය මාර්ග හඳුන්වා දීම තුළින් මෙම වසරේ රෝ රෝ පරිමාවන් වැඩි කිරීමට වරායට හැකි විය. Covid-19 වසංගතය හමුවේ අඛණ්ඩව 2021 වසරේදී කුඩා හා විශාල වාහන ඒකක 500,000ක් හැසිරවීමට නව ක්‍රමවේද හරහා සමත් විය. ප්‍රතිනැව්ගත කරන ලද වාහන ප්‍රධාන වශයෙන් ඉන්දියාව, තායිලන්තය, ජපානය සහ කොරියාව යන රටවල නිෂ්පාදනය කරනු ලබන අතර අප්‍රිකාව, මැද පෙරදිග, ඈත පෙරදිග සහ දකුණු ඇමරිකාව සඳහා ප්‍රතිනැව්ගත කරයි.

    වරායේ සාර්ථකත්වය විස්තර කරමින් ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු පවසන්නේ, ලෝක මට්ටමේ අග්‍රගණයේ වරායක් බවට පත්වීමේ ඉලක්කය සමඟින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය දැන් රෝ රෝ මෙහෙයුම්, තොග සහ සාමාන්‍ය භාණ්ඩ වලට සීමා නොවී ව්‍යාපාරික අංශ ගණනාවක් හරහා තම සේවා ක්‍රියාත්මක කරන බවයි. “ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතා අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා රේගුව, වරාය තුළ ක්‍රියාත්මක වන අතර, එහි සමස්ත ආරක්ෂාව අධීක්ෂණය කරයි. HIPGහි ‘HIP Speed’ නමින් සකස් කර ඇති නව කාර්යක්ෂම සැලැස්ම නියමිත වේලාවට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති බාධා ඉවත් කරන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවලීන් වේගවත්ව ගොඩනඟයි. අප ව්‍යාපෘති කලට වේලාවට නිම කිරීම, වරායට සුදුසු ආයෝජන ගෙන ඒමට බෙහෙවින් ඉවහල් විය. හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ කාර්යාලයේ ස්ථාපිත කර ඇති ආයෝජන මණ්ඩලය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය යන රාජ්‍ය ආයතන දෙකෙන් අපට දැන් ආයෝජන සඳහා හොඳ සහයෝගයක් ලැබෙනවා. මෙය මූලික ආයෝජන ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලින් විධිමත් කිරීමට සහයක් වන අතර ඉදිරියේදී අප සමඟ හවුල් වීමට කැමති ආයෝජකයින් අතර විශ්වාසය ගොඩනැගීමටද උපකාරී වනු ඇත”.

    වරාය මෙහෙයුම් ක්‍රියාවලින් වේගවත් කර ඇත්තේ, කෙටිකාලීන අවශ්‍යතා දෙස පමණක් බලා නොව, අනාගතයේදී ‘HIP Speed’ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමට නියමිත වරාය ක්‍රියාකාරකම් ස්ථානගත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් මොනවාද යන්න පිළිබඳව අවධානය යොමුකරමිනි. වරායේ ප්‍රධාන සැලැස්ම ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කරමින් පවතින අතර, HIP කර්මාන්ත කලාපයේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය සඳහා නිෂ්පාදන සහ සැපයුම් දාම සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය දැනට සූදානම් කරමින් පවතී.

    කර්මාන්ත උද්‍යානයට ඇතුළුවීම සඳහා ව්‍යාපාර 42ක් HIPG සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර ඉන් ව්‍යාපෘති 10ක් දැනටමත් ඉදිකිරීම් ආරම්භ කර අවසන්ය. නව ව්‍යාපෘති 8ක් ළඟදීම අත්සන් කිරීමට නියමිත අතර තවත් යෝජිත නව ව්‍යාපෘති 15ක් සිදුකිරීමට අපේක්ෂිතය. හම්බන්තොට වරාය ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක් වනු ඇති අතර, හම්බන්තොට කලාපයේ ආර්ථික සංවර්ධනය සඳහා චයිනා මර්චන්ට් සමූහය අඛණ්ඩව දායක වන බව HIPGහි ප්‍රධාන විධායක නිලධාරී පවසයි.

    සහන් රතනසේකර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.