fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රසායනික පොහොරවලටත් කාර්යසාධන බලකායක්

    රසායනික පොහොරවලටත් කාර්යසාධන බලකායක්

    රසායනික පොහොරවලට අදාළව කාර්යසාධන බලකායක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    රසායනික පොහොර, රසායනික කෘමිනාශක භාවිතයෙන් මනුෂ්‍ය ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීමට මෙම කාර්‍යසාධක බළකාය පත්කර ඇත.

    මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියක් තුළ මෙම බලකාය පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී තීරණය කර ඇත.

    රසායනික පොහොර හා කෘමිනාශක වර්ග භාවිත කර ගොවිතැන් කිරීමෙන් බහුතර ගොවීන් පිරිසක් වකුගඩු හා පිළිකා රෝගවලට ගොදුරු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් සමීක්ෂණ වාර්තා මඟින් සනාථ කර ඇතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිචාරය මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නොතිබීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම රැස්වීමේදී අවධානය යොමු කර තිබේ.

    රසායනික පොහොර භාවිතාව ගොවීන්ගේ සෞඛ්‍යයට අහිතකර බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර නොතිබීම නිසා හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට එය බාධාවක් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

    හරිත කෘෂිකර්මය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශවලට විශාල වගකීමක් පැවැරෙන බවද අමාත්‍යවරයා කීය.

    මෙම රැස්වීමට සහභාගී වී සිටි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා පෙන්වා දී ඇත්තේ කොරෝනා නිසා වසරකට මිය යන ප්‍රමාණයට වඩා වකුගඩු රෝගය නිසා වසරක් පාසා මිනිසුන් මිය යන බවයි.

    මෙසේ මිය යන බහුතරයක් ගොවි පවුල්වල සාමාජිකයින් බව ද පාදෙනිය මහතා පෙන්වා දී තිබේ.

    මෙරට වකුගඩු රෝගීන්ගේ හා පිළිකා රොගීන්ගේ බහුතරයක් ඊට ගොදුරුව ඇත්තේ රසායනික පොහොර හා කෘමිනාශක භාවිතාව නිසා බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ද ඒ පිළිබඳව ගැටලුවක් ඇති අයෙකුට අදාළ විස්තර ලබා දිය හැකි බව ද වෛද්‍ය පාදෙනිය මහතා මෙහිදී අවධාරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වකුගඩු හා පිළිකා රොගීන් දිනෙන් දින වැඩි වීම අධ්‍යයනය නොකිරීම ගැටලුවක් බව පෙන්වා දෙමින් එසේ නොකළේ ඇයිද යන්න ප්‍රශ්න කර තිබෙනවා.

    වකුගඩු රෝගීන් බහුලව වාර්තා වී ඇත්තේ මහවැලි ජලයෙන් ගොවිතැන් කරන ප්‍රදේශවලින් බැවින් මහවැලි ජලයේ මෙම රෝගයට යම් බලපෑමක් ඇත්ද යන්න සොයා බැලීම ගැනද අවධානය යොමු කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.