fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් අනතුරුවලින් 90%ක් වූ හේතුව ගැන ලීට්‍රෝ උසාවියට කී දේ..

    ගෑස් අනතුරුවලින් 90%ක් වූ හේතුව ගැන ලීට්‍රෝ උසාවියට කී දේ..

    ඉකුත් දිනවල වාර්තා වූ ගෑස් අනතුරුවලින් 90%ට වඩා ප්‍රමිතියෙන් තොර උදුන් හා උපාංග හේතුවෙන් සිදු වී ඇති බවට විමර්ශනවලින් තහවුරු වී ඇති බව ලීට්‍රෝ සමාගම අද අධිකරණයට දැනුම් දී තිබේ.

    මින් මතුවට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ගෘහස්ථ ගෑස් පමණක් වෙළඳපොළට මුදාහැරීමටත් ගෑස් සිලින්ඩරයක් තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් එම සිලින්ඩරය මත ප්‍රදර්ශනය කිරීමට එකඟ වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම අද අභියාචනාධිකරණයට ප්‍රතිඥා දෙමින් සඳහන් කර ඇත.

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ අනතුරු පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා මෙම දැනුම් දීම සිදු කර ඇත.

    පෙත්සම අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    ඒ අනුව ඊයේ දින අභියාචනාධිකරණය විසින් කළ දැනුම්දීම පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් මෙම දිවුරුම් පෙත්සම් දෙක ඔවුන්ගේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    පාරිභෝගික සේවා අධිකාරිය සහ ප්‍රමිති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු සංයුතිය පිළිබඳව තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ලබන 20 වන දා විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවය.

    එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රමිතිය හා සංයුතිය පිළිබඳව කඩිනම් තීන්දුවක් ගනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.