fbpx
තවත්
    මුල් පිටුවspecialකොළොම්තොට අභීත සංඝනායකයාණෝ!

    කොළොම්තොට අභීත සංඝනායකයාණෝ!

    ( අද දිනට යෙදෙන කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති අතිගෞරවාර්හ ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 78 වන ජන්ම දිනය නිමිත්තෙනි )

     

    1943 දෙසැම්බර් මස 14 වන දින දකුණු ලක මාතර නගරයට නුදුරු ගල්බොඩ ග්‍රාමයේ විසු ගලබාඩ කංකානම්ගේ දොන් මද්දුමගේට සහ අමරවික්‍රම ලියනගේ සෙලේනාහමි යුවලට දාව පින්වත් පුත් කුමරකු උපන්නේය. ඒ පුත් කුමරා පසු කළෙක කොළොම්තොට මහ වෙහෙරක අධිපති බව ලබමින් දෙස් විදෙස් රාජරාජමහාමාත්‍යාදීන්ගේ ද පුද සත්කාර ලබනු ඇතැයි  දෙමව්පියන් කිසිදු ලෙසකින් නොසිතන්නට ඇත.

    පවුලේ තුන් වැනි දරුවා ලෙස උපන් ඒ පුත් කුමරු ගලබොඩ කංකානම්ගේ දොන් කරුණාරත්න නම් විය. කුඩා කාලයේ දීම මේ කරුණාරත්නට අන් දරුවන්ට නොලැබන අභියෝගයක් භාර ගැනීමට සිදු විය. ඒ සිය සහෝදරයෙකු ආබාධිතභාවයෙන් උපන් නිසා ඔහුව රැක බලා ගැනීමයි. උපතින් පස් වසක් ජීවත් වූ ඒ ආබාධිත දරුවා එම කාළය තුළ දෙමපියන්ට සහය වෙමින් රැක බලා ගැනීම,  කරුණාපාල කුමරුගේ සිතෙහි වූ කරුණාබරිත භාවය පිළිබද අපට හෙළි කරයි. මේ අතර කපුදූව කණිෂ්ඨ විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මේ කරුණාරත්නට ගමේ විහාරස්ථානය වූ ගල්බොඩ ශ්‍රී සුනන්දාරාම විහාරයේ ද පහස නිතැතින් ලැබුනි.

    එම විහාරාධිපති පරවාහැර දේවානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ  කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරය සමඟ සමීප ඇසුරක් පැවැත්වීම හේතුවෙන් උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් කරුණාරත්න දරුවවා ගංගාරාම විහාරස්ථානය වෙත වයස අවුරුදු 10 දී යොමු කෙරුණි. ඒ අනුව වර්ෂ 1957 නොවැම්බර් 08 වැනිදා කරුණාරත්න කුළ දරුවා එවකට ගංගාරාම විහාරධිපති වූ දෙවිනුවර සිරි වාචිස්සර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ගල්බොඩ ඤාණිස්සර නමින් පැවිදි බිමට පත් කරන ලදී. එදිනම ගංගාරාම විහාරයේ ශ්‍රී ඥානේශ්වර පිරිවෙන නමින් පිරිවෙනක් ද ආරම්භ විය.

    මෙසේ ගල්බාඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවන් වහන්සේ සිය පිරිවෙන් අධ්‍යාපන කටයුතු ලබන අතර වාරයේ දී උන්වහන්සේට තවත් නොසිතූ අභියෝගයකට මුහුණ දීමට සිදු විය. ඒ සිය ගුරුදේවෝත්තම දෙවිනුවර සිරි වාචිස්සර නාහිමියන්ගේ දෑස් පෙනීම අහිමි වීමයි. එම සිදුවීම වන විට පොඩි හාමුදුරුවන් වහන්සේ දහසය වැනි වියේ පසු විය. මේ නිසා අධ්‍යාපන කටයුතු සමග නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ රැක බලා ගැනීමේ කටයුතු ද කිරීම පොඩි හාමුදුරුවන් වහන්සේට සිදු විය. එපමණක් නොව විහාර පරිපාලනය, දායකයන්ගේ පින්කම් ආදිය පිළිබද සම්පූර්ණ වගකීම ද උන්වහන්සේ වෙත පැවරුනි. කුඩා කළදීම එවැනි භාරදූර වගකීම් රැසක් දැරීමට සිදු වීමට ඤාණිස්සර නාහිමියන්ගේ පැවිදි දිවියට අත්දැකීම් රැසක් එක් කළේය. ඒ නිසා ම  අප නාහිමියෝ එම කාළය පිළිබදව මෙසේ සිහිපත් කරති.

    ” පිරිවෙනට ගුරුවරයා ගත්තේ මම වැදලා. ඒ කියන්නේ එයා වැඩිමල් කෙනෙක්. මමයි එයා තෝරගත්තේ. එයාට වැදලා මම ඉගෙන ගන්නවා. නමුත් එයා මට යටත්. ඒ වගේ පාලනයක් ඇති වෙච්ච පුද්ගලයෙක් මම. ගුරුවරයා හැටියට එයා ගන්නකොට මම ලොක්කා. ඊට පස්සේ එයා උගන්නන වෙලාවට මම පොඩි එක්කෙනා. ඒ වගේ පසුබිමක් තමයි මගේ ජීවිතයේ තිබුණේ ”

    පිරිවෙන් අධ්‍යාපනයෙන් නාහිමියන් අනතුරුව විද්‍යෝදය විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සමත් ව 1962 දී විශ්විද්‍යාලයට ඇතුළත් විය. සිංහල, පාලි, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් පිළිබදව හැදෑරූ උන්වහන්සේ 1965 දී සිය උපාධිය හිමි කරගන්නා ලදී. එතැන් පටන් ඤාණිස්සර නාහිමියෝ මෙරට ශාසනික හා ජාතිකමය වශයෙන් වැදගත් සියලු අවස්ථාවන්හි පෙරමුණ ගෙන ක්‍රියා කළහ. තරුණ අවධියේ සිටම ක්‍රියාකාරී භික්ෂූවක් වූ උන්වහන්සේ එඩිතරය. අවංකය. නිහතමානීය.

    කොළොම්තොට මධ්‍යයෙහි සුපිහිටි ගංගාරාම විහාරස්ථානයේ සග පරපුරේ ආදිකර්තෘවරයාණන් වහන්සේ වන්නේ බෝධිසත්වගුණෝපේත පරමපූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේගේ ප්‍රිය ශිෂ්‍යවර දෙවිනුවර ශ්‍රි ජිනරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ හික්කඩුවේ නාහිමියන්ගේ ඇවෑමෙන් ද, ජිනරතන නාහිමිගේ ඇවෑමෙන් තත් ශිෂ්‍ය  දෙවිනුවර වාචිස්සර හිමියන් ද එකී විහාරධිපතීත්වයට පත් විය. මේ විහාර පරපුර අයත් වන්නේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ තෙල්වතු තොටගමු සඟ පරපුරටය. එකී සඟ  පරපුර ඉතිහාසය පුරාම ස්වකීය අන්‍යයතාවය මැනවින් සනිටුහන් කරන ලද්දේ ධර්ම – විනයෙහි මනාව පිහිටමින් පොදු මහජනතාව වෙත වඩවඩාත් සමීප වෙමිනි. හික්කඩුවේ නාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් පැවත එන ඤාණිස්සර හිමියන් තුළ එකී අභාෂය මැනවින් දැක ගත හැක්කේ ය. නොඅඩුව සිව්පසය ලැබෙන විහාරස්ථානයක වැඩ වාසය කළ ද උන්වහන්සේ දහස් ගණන් වටිනා චීවර දරා සිටිනු අප කිසි කළක දැක නැත. යා යුතු ගමන ත්‍රීරෝද රථයෙන් හෝ වැඩම වීම උන්වහන්සේගේ සිරිතයි. එසේ බැහැරට යන්නේ ද උභයාංශපාරුපනයෙන් හෙවත් දෙවුර පොරවා ශ්‍රමණ සාරූප්‍ය මනාව සුරකිමිනි.

    කොළඹ නගරයට මෑත සියවසේ බෞද්ධ ප්‍රබෝධය උදා කළ මේ ගංගාරාම පුණ්‍ය භූමිය ඤාණිස්සර හිමියන්ගේ යුගයේ දී ලෝකවාසි සියලු බෞද්ධයන් අතර ප්‍රචලිත පින්බිමක් විය. ථෙරවාද, මහායනා, වජ්‍රයාන යන සියලු බෞද්ධ සම්ප්‍රදායන් වල ගිහි – පැවිදි සියලු පිරිස් නිරන්තරයෙන් ගැවසෙන පුද බිමක් බවට හුනුපිටිය ගංගාරාමය පත් විය. ලෝකයේ දුර්ලභ කලා කෘති රැසක් ආරක්ෂිතව ප්‍රදර්ශණය කෙරෙන කෞතුකාගාරයක් ද අද එහි දක්නට හැකි වන්නේ මේ සබැඳියාව ඔස්සේ ය. බංගලදේශයේ  චිතගොන් නුවරින් වැඩමවූ බුදුරාජණන් වහන්සේගේ කේෂධාතූන් වහන්සේලා මෙන්ම ශ්‍රී ලංකාවේ නොයෙක් දෙසින් පූජා කෙරුනු සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම අරහත් ධාතූන් වහන්සේලා එහි සුරක්ෂිතව පංචතූර්ය නාදය මධ්‍යයේ දිනපතා පුදපූජා ලබමින් වැඩ සිටියි. උන්වහන්සේ රෝගී වීමට ප්‍රථමයෙන් ගංගාරාම විහාරස්ථානයට යන ඕනෑම අයෙකුට එම ධාතූ මන්දිරය ඉදිරිපිට අසුන් ගෙන සිය රාජකාරිකාරි කටයුතු කරන අප නාහිමියන්ගේ රුව අමුත්තක් නොවීය. දුප්පත් පොහොසත් සැමට ඒ ආලින්දය විවෘත විය.

    ගලබොඩ පොඩි හාමුදුරුවන්ගේ පරිපාලන දක්‍ෂතාවය පිළිබදව  දැනසිටි ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා වරක් ප්‍රකාශ කළේ “පොඩිහාමුදුරුවෝ ගිහියෙක් මගේ කැබිනට්ටුවේ අසුනක් අනිවාර්යෙන් හිමිකර ගනී ” යනුවෙනි. නිදහසින් පසු මෙරට පාලනය කළ බහුතරයක් වූ රාජ්‍ය නායකයන් සමඟ ම සමීප සබඳතාවයක් පවත්වා ගත් නාහිමියන් එම සබදතා යොදා ගනු ලැබුවේ පොදු මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා පමණි. මහජනතාවට මොනයම්ම හෝ අකටයුත්තක් කවර තරාතිරමක නායකයෙකු අතින් වුවත් එයට විරැද්ධ වීමේ උජුපටිපන්න ගුණයක් උන්වහන්සේ තුළ විය.

    උන්වහන්සේ මෙරට තරුණ පරපුරට සිදු කළ අනර්ගතම මෙහෙවර වන්නේ කොළඹ ගංගාරාම ජිනරතන කාර්මික විද්‍යාලය ආරම්භ කිරීමයි. අද එයින් වෘත්තීය පුහුණුව ලත් ඇතැමෙක් විදෙස් රටවල ස්වකීය ව්‍යාපාර වල හිමිකරුවෝ ය.

    අප නාහිමියන් සැබැවින්ම දානපතියෙකි. උන්වහන්සේ ගිහි – පැවිදි දෙපිරිසට ම දන් දුන් ප්‍රමාණයන් ගණනින් දැක්වීම ද පහසු නොවේ. ගංගාරාමය විහාරය යටතේ පවතින ළමා නිවාස සහ ආබාධිත සුරැකුම් මධ්‍යස්ථාන ද කිහිපයකි. ඒ සියල්ල පිළිබඳව සොයා බලා කටයුතු කිරීම නාහිමියන්ගේ සිරිතකි.

    වරක් අප නාහිමියෝ ආචාර්ය වල්පොල පියනන්ද හිමි සමඟ දොඩන්දූව ආරණ්‍යය බලා වැඩම කළහ. එම ආරාණ්‍යය පිහිටා ඇත්තේ කුඩා දූපතක බැවින් එහි යා යුතු වූයේ බෝට්ටුවකය. පොඩි හාමුදුරුවෝ බෝට්ටුකරුවෝ කිහිපදෙනකුටම කතා කළත් යහපත් ප්‍රතිචාරයක් නොලැබ, අවසානයේ  නාහිමිවරු දුටු එක් බෝට්ටුකරුවෙක් කැමැත්තෙන් උන්වහන්සේලා එතෙර කරනු පිණිස එහි පැමිණියේය. නාහිමියෝ ඔහු සමග කතාබහ ආරම්භ කළහ.

    “බෝට්ටුව කාගෙද… ඔහේගෙද ?
    “නෑ හාමුදුරුවනේ කුලියට පදින්නේ.”
    “කීයක් කුලිය දවසට දෙනවද?
    “රුපියල් 300ක් දෙන්න ඕන.”
    “දවසට කීයක් හොයන්න පුළුවන්ද?
    “රුපියල් 500ක් විතර”
    “ඇයි බෝට්ටුවක් ගන්න අමාරුද?
    “බෝට්ටුවක් ගන්න හයියක් නෑ හාමුදුරුවනේ..”
    පොඩි හාමුදුරුවෝ බෝට්ටුවෙන් බැස එතැනම සිට ලියුම් කෑල්ලක් ලියූහ. එහි යොමුව ගංගරාමවාසී පාලටුවාවේ ජිනරතන හිමියන් වෙතය.

    “මේ ලියුම අරන් හෙට ගංගාරාමයට යනවා. පන්සලේ බෝට්ටු 3ක් තියෙනවා. එතැනින් අලුත්ම එක ගන්නවා. පන්සලේ ලොරිය ඇති. ඒකෙ පටවගෙන එනවා. ඒ බෝට්ටුව මෙතන දුවවනවා. හැබැයි හාමුදුරුවන්ගෙන් කුලී ගන්න එපා..”

    වරක් තායිවානයේ සහ කොරියාවේ සිටි දායක පිරිසක් ආධාරයක් ලබා දීමට විමසූ අවස්ථාවේ  උන්වහන්සේ ඉල්ලා සිටියේ පාපැදිය. ඒ එකල ගුරු පාරවල් වල ගව් ගණන් දුර ඇවිද යන්නට සිදු වූ කතරගම ගම්වැසියන්ට බෙදා දෙනු පිණිසය. උන්වහන්සේගේ ගති ස්වභාවය එසේය. කළ යුතු දෑ කළ යුතු තැන කළ යුතු ආකාරයට කිරීම උන්වහන්සේ සිරිතය.

    1980 භාගයේ දී  ඇමරිකාවට වැඩම කළ උන්වහන්සේගේ ජාත්‍යන්තර ධර්මදූත සේවාවේ ආරම්භ එය ම විය. ඒ අනුව ප්‍රථමයෙන් නිව්යෝක් බෞද්ධ විහාරය ආරම්භ කළ උන්වහන්සේ පසුව තම ශිෂ්‍ය රත්නයන්ට අවවාද අනුශාසනා කරමින් විදේශීය ධර්ම ප්‍රචාරයේ යෙදවීමට කටයුතු කළ සේක.
    කොළඹ නගරයේ බෞද්ධාලම්භන ප්‍රීතිය වර්ධකය කරමින් නවම් මහා පෙරහැර ආරම්භ කළ උන්වහන්සේ පසු කළෙක දී රාජ්‍ය අංශ සමග එක්ව බුද්ධ රශ්මි වෙසක් කලාපය ආරම්භ කළ සේක.

    ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්  සිදු කරන ලද උදාරතර ශාසනික සේවාව අගය කරනු වස් මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාරයීය ශ්‍රිමත් මහනායක මාහිමිපාණන් වහන්සේ විසින් කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය ද උන්වහන්සේ වෙත පුද කරන ලදී.

    වසර තුනකට පමණ පෙරාතුව හදිසි රෝගී තත්වයට පත් අප නාහිමියෝ අද වන විට සුවපත් භාවයට පත් ව සිංගප්පූරුවේ විවේක සුවයෙන් වැඩ සිටිති. උන්වහන්සේ සිදු කළ ඒ මහානීය මෙහෙවර ඉදිරියට කඩ නොකොට පවත්වාගෙන යන උගත් ශිෂ්‍ය භික්ෂූ වහන්සේලා පිරිසක් බිහි කොට තිබීම අපගේ සැමගේ සැනසුමට හේතු වේ. ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන්, ආචාර්ය පල්ලේගම රතනසාර හිමිපාණන් ඒ අතරින් ප්‍රමුඛ වෙති.

    ශ්‍රී ලංකාවේ භික්ෂූ පෞරුෂය ජාත්‍යන්තරයට ගෙන ගිය ඒ මහා යතිවරයාණන් වහන්සේ වූ මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිගෞරවාර්හ ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී  දිගාසිරි සම්පත් සැලසේවායි හදවතින් ම ප්‍රාර්ථනා කරමි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.